නායයාම් හේතුවෙන් වසා දමා තිබූ නුවරඑළිය – ගම්පොළ මාර්ගය අද (10) සැහැල්ලු වාහන ධාවනය සඳහා විවෘත කළබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුළු ස්ථාන කිහිපයක ම විශාල වශයෙන් නායයාම් සිදුව තිබූ බැවින් මාර්ගය විවෘත කිරීම අද දක්වාම ප්‍රමාද කෙරිණි. නමුත් තවමත් බර වාහන ධාවනය සඳහා අවසර ලබා දී නැත.
යුද හමුදා ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් එක් මංතීරුවක් මෙලෙස වාහන ධාවනය සඳහා විවෘත කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාර්ගය පරික්ෂා කිරිමෙන් අනතුරුව බර වාහන ධාවනය සඳහා මාර්ගය භාවිතයට ඉඩදීම පිළිබඳ තීරනයක් ගන්නා බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙසද නාය ගිය ස්ථානවල වාහන නතර නොකරන ලෙසත් පොලිසිය එම මාර්ගයේ ගමන්කරන රියදුරන්ට දැනුම් දෙයි.


