පක්ෂි උණ (Bird Flu / Avian Influenza) වෛරසය අනාගතයේදී මිනිසුන් අතර පහසුවෙන් පැතිර යා හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් නව අනාවැකි සහ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, පක්ෂි උණ වෛරසය මේ වන විට ප්‍රධාන වශයෙන් පක්ෂීන් අතර පමණක් පැතිරෙමින් තිබුණද, වෛරසයේ ජානික වෙනස්කම් (mutations) සිදුවුවහොත්, එය මිනිසුන්ටත් ආසාදනය වීමේ හැකියාව වැඩි විය හැකි බවයි.
මිනිසුන්ට වෛරසය පැතිරෙන්නෙ කොහොමද?
ඉන්දීය විද්‍යාඥයන්ගේ අධ්‍යයන අනුව, පක්ෂි උණ මිනිසුන්ට පැතිරීමට ඉඩ ඇති ප්‍රධාන මාර්ග කිහිපයක් හඳුනාගෙන ඇත.
ඒවා නම්, ආසාදිත පක්ෂීන් හෝ කුකුළු මස් සමඟ නිතර සෘජු සම්බන්ධතා පැවැත්වීම, පක්ෂීන්ගේ මළද්‍රව්‍ය, ලේ හෝ ශරීර ද්‍රව සමඟ ආරක්ෂාව නොමැතිව කටයුතු කිරීම, ජීව පක්ෂී වෙළඳපොළ (live bird markets) වැනි ස්ථානවල දිගු කාලයක් ගත කිරීම.
මෙවැනි තත්ත්වයන් තුළ, වෛරසය මිනිසුන්ගේ ශරීරයට හුරු වන ලෙස පරිවර්තනය විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.
වෛරසය වෙනස් වුවහොත් ඇති අවදානම
විද්‍යාඥයන් අනතුරු ඇඟවන්නේ, වෛරසය මිනිසුන්ගේ ශරීරයට හුරු වන ආකාරයට වෙනස් වුවහොත්, මිනිසාගෙන් මිනිසාට පැතිර යා හැකි සාමාන්‍ය උණ රෝගයක් මෙන් වේගයෙන් පැතිර යා හැකි අවදානමක් ඇති බවයි.
කෙසේ වෙතත්, දැනට පක්ෂි උණ මිනිසාගෙන් මිනිසාට පහසුවෙන් පැතිරෙන රෝගයක් නොවන බව ද විද්‍යාඥයන් අවධාරණය කරති.
ජනතාවට දෙන පණිවිඩය
ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ, මෙය භීතියට පත් විය යුතු තත්ත්වයක් නොවන නමුත් ආරක්ෂාව සහ අවධානය අත්‍යවශ්‍ය වන තත්ත්වයක් බවයි.
ඒ සඳහා, හොඳින් පිසින ලද කුකුළු මස් සහ බිත්තර පමණක් භාවිතා කිරීම, මළ පක්ෂීන් සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, අසාමාන්‍ය රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම යන කරුණු අත්‍යවශ්‍ය බව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවටත් අදාලද?
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, පක්ෂි උණ සීමා ඉක්මවා පැතිර යා හැකි රෝගයක් වන බැවින්, ඉන්දියාව වැනි ආසන්න රටවල සිදු වන මෙවැනි වාර්තා ශ්‍රී ලංකාවටත් වැදගත් බවයි.
එබැවින්, කුකුළු කර්මාන්තය, සෞඛ්‍ය අංශ සහ ජනතාව දැනුවත් වීම සහ සූක්ෂමව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරති.
කොරෝනා වසංගතයෙන් පසු, ලෝකය නව වෛරස් පිළිබඳ වඩා අවධානයෙන් සිටින පසුබිමක, පක්ෂි උණ වැනි රෝග පිළිබඳ කාලීන විද්‍යාත්මක අනතුරු ඇඟවීම් සම්බන්දව දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍ය බවද විශේෂඥයෝ පෙන්වා දෙති.


