සපුගස්කන්ද ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර බිළිඳකු ඇතුළු තිදෙනකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විභාගයට ගත් අද (19) දිනයේ දී හිටපු කතානායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ පොලිසියෙන් විමසා සිටියේ සිදුවීමෙන් තුවාල ලැබුවේ පැමිණිලිකාර පාර්ශවය ද නැතහොත් විත්තිකාර පාර්ශවය ද යන්නයි.
රිය අනතුරින් තුවාල සිදුවූ බිළිඳා, බිළිදාගේ මව සහ බිළිඳාගේ මිත්තණිය රෝහල්ගතවූ අවස්ථාවේ දී අනතුර සිදුකළායැයි ප්‍රධාන සැකකරුවන හිටපු කතානායකවරයා ද රෝහල්ගත වූයේය.
සපුගස්කන්ද පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා එදිනම පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල පරීක්ෂා කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළාය.
රෝහලේ තුවාල ලබා සිටි බිළිඳා සහ බිළිඳාගේ මව ප්‍රතිකාර ලබා බැහැරව ගොස් ඇති අතර පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති මිත්තණිය තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතර අද අධිකරණයේ දී අනතුරේ ප්‍රධාන සැකකරු හිටපු කතානායක අශෝක රංවල අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් විමසූ විිට වාර්තා වූයේ ඔහු ද තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බවයි.
නඩුව විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා හිටපු කතානායක අසෝක රන්වලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළේය. ඔහු එම නියෝගය නිකුත් කළේ පොලිසිය කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි.
මෙම රිය අනතුරට සම්බන්ධ වාහන තුනක රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සඳහා අධිකරණ වෛද්‍යවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කළ ඔවුන්ගේ රුධිර හා මුත්‍රා සාම්පල්වල වෛද්‍ය වාර්තා තවම ලැබි නැතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිසිය අධිකරණයේ දී මෙසේ කීවේය.
“මේ රිය අනතුරින් එකම පවුලේ මව, මාස හතක් පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා. එහිදි තුවාල ලැබු තිදෙනා කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් වුනා. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට හා කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඈතළත් කළා. මේ වනවිට මව හා දරුවා රෝහලින් පිටවි නිවෙසට පැමිණ තිබෙනවා. නමුත් මිත්තනිය තවම කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද තවම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේ රිය අනතුරු ජාලයට සම්බන්ධ ජීප්රථය , මෝටර් රථය හා යතුරු පැදිය පැදවු රියදුරන් තිදෙනාගේ වෛද්‍ය වාර්තා ඔවුන් ප්‍රතිකාර ලැබූ රාගම මහා රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි බීමත්ව නොසිටි බවට සදහන් වී තිබෙනවා. නමුත් මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔවුන්ගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබා ගැනීම සදහා ලේ හා මුත්‍රා සාම්පල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් විසින් රජයේ රස පරික්ෂකවරයාට යොමු කර තිබෙනවා. එහි වෛද්‍ය වාර්තා තවම ලැබි නැහැ. ඒවා ලැබුණු විට අධිකරණයට ඉදිරිපත් කරනවා.”
“ ජීප් රථයේ තිරංගවල දුර්වලතාවයක් පවතින බවට එය පරික්ෂාවට ලක් කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයා වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ද අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා.”
අනතුරට පත්වු මෝටර් රථයේ අලාභය ගැන තක්සේරු වාර්තාවක් කැඳවීමට අවසරය ලබා දෙන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් මෙසේ කියා සිටියේය.
“අපගේ සේවාදායකයා ඇප මත සිටින්නේ. තවමත් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ නිසා ඔහුට අද දින අධිකරණයට පැමිණිමට නොහැකි වි තිබෙනවා. නමුත් ඔහු රෝහලින් පිටවු වහාම අධිකරණයට ඉදිරිපත් වෙනවා.
මේ රිය අනතුරින් තුවාල ලැබු තිදෙනෙකු සිටිනවා. මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මිත්තනිය පමණයි. ඒ නිසා අපි තුවාලකරුවන් තිදෙනා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ඔවුන් කැමති නම් ලබා දීමට කැමැත්තෙන් සිටිනවා. ඒ අනුව රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියට රුපියල් පනස් දහසක් ද සෙසු දෙදෙනාට රුපියල් විසිපන් දහස බැගින් මුදලක් දීමට කැමැතියි.”
මේ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පැමිණ සිටි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මිත්තනියගේ සැමියා වන ඩී.යු.පී. අතුකෝර එවැනි දීමනාවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
එහි දී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ වන්දි ලබාදීම නඩුව අවස්වනතුරු තීරණය කළ නොහැකි බවයි. නමුත් සානුකම්පිත දීමනාවක් ලබා දෙන්නේ නම් එයට අධිකරණයේ බාධාවක් නොමැති බවත් අගතියට පත් පාර්ශවයේ කැමැත්ත අකමැත්ත මත එය සිදුවිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා කීෆව්ය.
එමෙන් ම සැකකරු රෝහලින් පිටව ගිය විටට ඔහු ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවට ඉදිරිපත් කර යෝග්‍යතා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ඒ අනුව මෙම නඩුව යළි ලබන ජනවාරි ම 16 වැනි දින කැඳවීමට ද නියෝග කෙරිණි.


