25.9 C
Galle

ලෙඩ්ඩු මරණ බෙහෙත්, රට පුරා ම

Published:

ශ්‍රී ලංකාව තුළ 2025 වර්ෂයේ දී භාවිතයට ගන්නා ලද ඖෂධවලින් 93ක් රජයේ ගුණාත්මක බව පිළිබඳ පරීක්ෂණවලින් අසමත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. මෙම ඖෂධ අතර විදේශ රටවලින් ගෙන්වන ලද ඒවා මෙන් ම මෙරට දී නිෂ්පාදනය කරන ලද ඖෂධ ද ඇත. එලෙස අසමත් වූ ඖෂධ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වන ලද ඒවා ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ Medical Supplies Division (MSD) සහ National Medicines Regulatory Authority (NMRA) විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී, මෙම ඖෂධ 93 අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවන බව හඳුනාගෙන ඇත.

එලෙස ගුණාත්මක බවින් අඩු බවට තහවරු වී ඇති ඖෂධවලින් 42ක් ඉන්දියාවෙන් ආනයනය කළ ඒවා වන අතර ඖෂධ 25ක් දේශීයව නිෂ්පාදනය කරන ඒවා වීම ද විශේෂත්වයකි. ගුණාත්මක බවින් අඩු අනෙකුත් ඖෂධ චීනය, පකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් ද ආනයනය කර ඇත.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ තත්වය ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය සහ නියාමන ක්‍රමවේදය පිළිබඳ ගැටලු පිළිබිඹු කරන බවයි.

ගුණාත්මක පරීක්ෂණ අසමත් වූ ඖෂධ භාවිතය හේතුවෙන් ඇතැම් රෝගීන් මියයාමේ දැඩි අවදානමක් පවතී. එමෙන් ම රෝගීන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලැබීම අඩාල වේ. එමෙන් ම යම් ප්‍රතිකාරයක් ලැබුණ ද ඖෂධයේ ගුණාත්මක බව අඩුවීම නිසා ලැබෙන ප්‍රතිඵලය ද අවම මට්ටමකට පත්විය හැක. අතුරු ආබාධ, අතුරු ප්‍රතික්‍රියාවන් සහ බරපතල සෞඛ්‍ය හානි ඇතිවීමේ අවදානමක් ද පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අසමත් වූ ඖෂධ බොහෝ දුරට රෝහල් පද්ධතියෙන් ඉවත් කර ඇති බවයි. එවැනි අසමත් වූ ඖෂධ කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර අවසන් තීරණයක් ගන්නා තුරු ඒවා තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කියයි.

මේ දිනවල වඩාත් ආන්දෝලනයට තුඩුදුන්, ඔන්ඩසෙට්‍රොන් නමැති වමනය සඳහා ලබාදෙන ඖෂධය හේතුවෙන් පසුගිය මාස දෙකක කාලයේ දී රෝගීන් දෙදෙනකුට මරණය අත් වූ බවට වාර්තාවන අතර මුලින් එය තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර තිබිණි. පසුව එය ස්ථිරව ම භාවිතයෙන් ඉවත්කර ඇති අතර එම ඖෂධය අදාල ඖෂධ කාණ්ඩය රජයේ රෝහල්වල පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළින් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ඖෂධ පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ගුණාත්මක බවින් තොර හෝ අඩු ඖෂධ භාවිතය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දිගු ඉතිහාසයක් ඇති බවයි. එය දිගින් දිගටම ශ්‍රී ලංකාවේ දක්නට ඇති තත්වයකි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව ඖෂධ වර්ග 80-100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත්කිරීම සිදුවෙයි. ඒ විවිධ හේතූන් මත රෝගීන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම, සංකූලතා ඇතිවීම, ගුණාත්මක බව පිළිබඳ පර්යේෂණ අසමත්වීම, අදාළ නොවන කොටස් ඖෂධවල දක්නට ලැබීම, බැක්ටීරියා සහ වයිරස කාණ්ඩ ඖෂධවලින් වාර්තාවීම වැනි හේතූන් මත එලෙස ඖෂධ භාවිතයෙන් ඉවත්කිරීම සිදුකරයි.

2017 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ 600කට වැඩි ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත්කර ඇත. ඉන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ 2023 වර්ෂයේ දී ය එම ප්‍රමාණය 115කි. 2019 වර්ෂයේ දී ඉවත් කළ ප්‍රමාණය 96කි, 2022 දී ඖෂධ 86ක් සහ 2024 දී ඖෂධ 83ක් භාවිතයෙන් ඉවත්කර තිබේ. 2023 වර්ෂයේ දී ඉවත්කරන ලද ඖෂධ 115න් 58ක් ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර 45ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ඒවාය. මීට අමතරව 2023 නොවැම්බර් මාසයේ ෆ්ලූක්ලොක්සැසිලින් කැප් කාණ්ඩ 35ක් ඉවත්කර ඇති අතර වර්ෂයක දී ඉවත්කරන ලද කාණ්ඩ ගණන අනුව එය මේ දක්වා ඉහළම අගය සටහන් කර ඇත.

විශේෂයෙන් ආර්ථික අර්බුද කාලයේදී, අඩු මිලට ඖෂධ ආනයනය කිරීම, සැපයුම් දාමයේ ගැටලු සහ පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමාදය මෙම තත්ත්වයට බරපතල හේතුවක් වී ඇති බව විශ්ලේෂකයෝ කියති.

NMRA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඖෂධ ආනයනයේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි. මේ සඳහා වැඩි වගකීමක් ආනයන කරුවන්ට ඇති බවත් එහි දී ගුණාත්මක පරීක්ෂණ හැකියාවන් පුළුල් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2025දී ඖෂධ ගුණාත්මකභාවය පිළිබඳ හෙළි වූ මෙම තත්ත්වය, මහජන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් අවශ්‍ය බව පැහැදිලි කරයි. රට තුළ භාවිතයට ගන්නා සෑම ඖෂධයක්ම ආරක්ෂිත සහ විශ්වාසනීය බව තහවුරු කිරීම, සෞඛ්‍ය පද්ධතියේ මූලික වගකීමක් බවද විශේෂඥයෝ අවධාරණය කරති.

වෛද්‍යවරුන්ගේ සංගම් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංවිධාන මේ වනවිට විවිධ අවස්ථාවල දී අදහස් ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ ආනයයනකරුවන්ට හසු වූ ඖෂධ පිළිබඳ වගකීම මෙන්ම වගවීම ද ප්‍රශ්න කරමින් පවතී.

වෛද්‍ය වෘත්තීය හා සිවිල් හිමිකම් ආරක්ෂණ සංගමය (MCPA) ජාතික ඖෂධ නියාමන අධිකාරියට එරෙහි නඩු පැවරීම් ආරම්භ කළ බව වාර්තා වේ. ඔන්ඩසෙට්‍රොන්, ඇන්ටිබයටික් වර්ග සහ වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ගෙන ඇති හදිසි ක්‍රියාකාරකම් අතර ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විවේචනාත්මක චෝදනා එල්ල වෙමින් පවතී,

එමෙන් ම ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් ගුණාත්මක භාවයෙන් අඩුය යන කරුණ හේතුවෙන් නිරන්තරව භාවිතයෙන් ඉවත්කිරීමට සිදුව ඇති බව ද සෞඛ්‍ය වෘත්තිකයෝ පවසති.

බාල ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වන බවට වත්මන් රජයේ නායකයන් විපක්ෂයේ සිටිය දී එවකට බලයේ සිටි නායකයන්ට නැගූ චෝදනාව දැන් ඔවුන් විසින්ම නොතකා හැර ඇති බවත් වත්මන් ජාතික ජන බලවේග රජය ද බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වමින් ජනතාව අමාරුවේ දමන බවටත් මේ වනවි රජයට ද බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

එපමණක් නෙවෙ මෙලෙස බාල ඖෂධ ගෙන්වීම පිටුපස ජාතික ජන බලවේගයේ දේශපාලන බල අධිකාරිය සෘජුවම සිටින බවට තවත් චෝදනාවක් එල්ල වන්නේ දෙදෙනකුට මරු කැඳවූ බවට සැකකරන ඔන්ඩසෙට්‍රෝන් ශ්‍රී ලංකාවට ආනයනය කළ ආයතනය කොළඹ නගරාධිපතිනියගේ සමීපතම ඥාතියකුගේ බවට පවසමිනි.

මෙසේ භාවිතයෙන් ඉවත් කරනු ලබන ඖෂධ තොග රෝහල් ගබඩා තුළ ගොඩගැසී තිබීම සෞඛ්‍ය පද්ධතිය තුල විශාල ගැටලුවලට හේතු වෙයි. දැනටමත් දෛනික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන රජයේ රෝහල්වල ඖෂධ ගබඩා තුළ, භාවිතයට ගැනෙන ඖෂධවලට වෙන් කළයුතු ඉඩකඩ භාවිතයෙන් තාවකාලිකව ඉවත් කරනලද තොග වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත.

මෙම ඖෂධ ස්ථිර වශයෙන් භාවිතයෙන් ඉවත් කිරීම හෝ නැවත භාවිතයට එක් කිරීම යන දෙකෙන් එකක් තීන්දු වන රසායනාගාර වාර්තා ලැබෙන තෙක් අදාළ සැකසහිත තොග නිසි ගබඩා තත්වයන් යටතේම තබා ගත යුතුබව සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛවල සඳහන්ය.  

බොහෝ අවස්ථාවන්හිදී ඒවා මුලු ආයු කාලය ගෙවා කල් ඉකුත්වීමේ දින පසුවන තෙක් ම ජාතික ඖෂධ තත්ව පාලන රසායනාගාරයේ වාර්තා නිකුත් නොවන බැවින්, මෙම තොග සැපයුම්කරුවන් වෙතින් අලාභය අයකර ගැනීමේ නීතිමය හැකියාවද රජයට නොලැබී යයි. රෝහල් අතර පුළුල්ව පවතින අනුමානයනම්, ජාතික ඖෂධ තත්ව පාලන රසායනාගාරයේ බලවත් හස්තයන් විසින් සමාගම් වල අවශ්‍යතාව පරිදි මෙම ලේඛන අදාළ අයිතම ඉබේ කල් ඉකුත්වන තෙක් ප්‍රමාද කරන බවයි. එසේම, පුදුමයකට මෙන් එක් ප්‍රතිජීවක ඖෂධයක් මෙසේ තාවකාලිකව භාවිතයෙන් ඉවත්කොට තිබී කල් ඉකුත් වී ටික දිනකට පසු එය තත්වයෙන් අසමත් නොවන බවට වාර්තාවක් නිකුත් කිරීමට ජාතික ඖෂධ තත්ව පාලන රසායනාගාරයේ නිලධාරින් කටයුතු කළ අවස්ථාවක් මෙම වසරේ අග භාගයේ වාර්තා විය. එම ඖෂධයද සපයා තිබුණේ කතාබහට ලක්ව ඇති, මාන් ෆාමසියුටිකල්ස් සමාගමෙනි.

තවද මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට, මෙරට ඉහලම විද්වතුන්ගෙන් සමන්විත කමිටුවකින් “බැක්ටීරියා වලින් නිපදවෙන විෂ ද්‍රව්‍ය සහ ඇසට පෙනෙන තරමේ කැබලිති අඩංගු ” විම හේතුවෙන් ස්ථිරව භාවිතයෙන් ඉවත්කොට අපහරණයට යොමු කර තිබූ ඉමියුනෝග්ලොබියුලින් තොගයක්, එය සැපයූ සමාගම මුදල් ගෙවා ඉන්දියාවේ විද්‍යාගාරයකින් රැගෙන විත් ඉදිරිපත් කළ සහතිකයක් මත පිහිටා යලි භාවිතයට ගන්නා ලෙස නිර්දේශ කළේද  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන  කලමනාකාරිත්වය විසිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල දැක්වෙන්නේ 2024 වර්ෂයේ දී 2025 වසර සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය ප්‍රමාදවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බවයි. මේ නිසා අධික මිල ගැන්වූ හදිසි ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියක් පවත්වාගැනීමට සිදුව ඇති බැවින් නිතරම ගුණාත්මක බවින් තොර අසමත් ඖෂධ භාවිතයට ගැනෙන බවට ද චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත් 2024 වර්ෂය අවසන් වීමට පෙර ඖෂධ ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය නිසි පරිදි සිදුව නොතිබීමෙන් ඉදිරියේ දී අධික මිලට ඖෂධ මිල දී ගැනීමට සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

ඖෂධ නියාමන ක්‍රියාවලියේෙ දී, NMRA සතුව සියලු ඖෂධ වර්ග පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර ප්‍රමාණවත් තරම් නොමැති වීම ද ගැටලුවකි.

ඒ අනුව නව රජය යෝජිත නියාමන ප්‍රතිපත්තියක් ලෙස ඉන්දීය ඖෂධ ප්‍රමිති යටතේ අනුමත කරන ලද ඖෂධ ස්ථානීයව නැවත පරීක්ෂා නොකර ගනුදෙනුකරුවන් වෙත වහාම භාර දීමට අවසර දීම, බහුතර වෛද්‍ය කණ්ඩායම් හා විශේෂඥයන්ගෙන් දැඩි විවේචනයකට ලක් වී ඇත.

මෙය පසුගිය දා හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධයෙන් ද මතු වූ ගැටලුවක් විය. ඉන්දියාවෙන් ආනයනය කර තිබූ හියුමන්ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පිවල බැක්ටීරියා හමු වූ බවත් එහි ඇසට පෙනෙන කැබිලිති දක්නට ලැබෙන බවත් පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඖෂධ කාණ්ඩ ස්ථිරව ම භාවිතයෙන් ඉවත් කෙරිණි.

නමුත් ඉන් පසු ඉන්දියාවේ සංචාරයක ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවට හෙළිදරව් නොකළ ඖෂධ සම්බන්ධ ගිවිසුමකට අත්සන් කළ අතර තතු දත් ආරංචිමාර්ග පෙන්වා දුන්නේ එම ගිවිසුම අනුව ඉන්දියාවේ අනුමත ඖෂධ නැවත පරීක්ෂණයකින් තොරව ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති බවයි.

එම ගිවිසුම් අත්සන් කිරීමෙන් දින කිහිපයකට පසු එතෙක් භාවිතයෙන් ඉවත්කර තිබූ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් රජයේ රෝහල්වල යළි භාවිතයට ගැණිනි.

මෙය ශ්‍රී ලංකාවේ තිබූ ඖෂධ ප්‍රතිපත්ති සම්බන්ධ සියළු කඩඉම් ඉක්මවා යන්නක් වන අතර අනාගතයේ දී ඖෂධවල ගුණාත්මක බව ප්‍රශ්න කිරීමට නොහැකි තත්වයක් ද උද්ගතවීමට හේතුවක් වනු ඇත.

එපමණඛ් නොව උපරිම ඖෂධ මිල නියාමනය නොකිරීම ඇතුළු අඩුපාඩු රෝගීන්ට සහ රජයට අධික සෞඛ්‍ය පිරිවැයට හේතු වන අතර, පද්ධතිගත පරීක්ෂණ විධි පිළිබඳ ගැටලු රාශියක් ඉදිරියට ගෙන එනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!