25.6 C
Galle

ඩිජිටල් ලෝකය වැඩිහිටියන්ටත් විවර කරමු

Published:

සිරංගිකා ලොකුකරවිට විසිනි

“මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් දැන් පැය දෙකකට වඩා වෙනවා. මට අස්වැසුම ගන්න විස්තර ඔන්ලයින් දාන්න කියනවා.ඒ්ත් ඒක කරන්න මම දන්නේ නෑ. අපේ ගෙවල් අවට කිහිප දෙනෙකුගෙන්ම උදව් ඉල්ලුවා. එයාලටත් ඒක කරන්න බැරිවුණා. අද ආව තුන්වැනි දවස. හැමදාම මොනවා හරි ප්‍රශ්න. මේවා හරි අමාරු වැඩ. ඔය තාක්ෂණය අපිට තේරෙන්නේ නෑ.”

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට වී තම අස්වැසුම විස්තර අන්තර්ජාලයට ඇතුළු කිරීම සඳහා සමාජ සේවා නිලධාරියාගේ උදව් ලබා ගැනීමට බලා සිටි කාන්තාවක අප සමඟ කීවාය. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිය දියණිය ගැන සිතන 54 හැවිරිදි වියේ පසුවන ඇය නම හෙළි කිරීමට අකමැතිය.

ඇය වටා, තවත් වැඩිහිටියන් කිහිපදෙනෙකු එවැනිම ගැටලුවලට මැදිවී සිටියහ. සමහරුන්ට ස්මාර්ට්ෆෝන් තිබුණත් ලේඛන පරිලෝකනය කරන්නේ කෙසේදැයි ඔවුන් දැන සිටියේ නැත. සමහරුන් ලොග් වීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ මුරපද මතක තබා ගත නොහැකි විය. තවත් සමහරු රජයේ ද්වාරයට ප්‍රවේශ වන්නේ කෙසේදැයි මුලින් දැන සිටියේ නැත.

දරුවන් තාක්ෂණය ගැන කොතෙක් දැන සිටිය ද ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර මුහුණපාන ප්‍රධාන ගැටලුවක් මේ කථාවලින් අනාවරණය වෙයි.

එවැනි ගැටලුවලට මුහුණ දී තම අයදුම්පත්‍ර අන්තර්ජාලයට උඩුගත කරගැනීමට හැකියාවක් නොමැතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දෛනිකව පැමිණෙන විශාල පිරිිසක් සිටින බව රාජ්‍ය නිලධාරීහු ම කියති.

“අපේ කාර්යාලයට මේ වගේ අම්මලා තාත්තලා නිතරම එනවා. සමහර අය තරුණ දූ දරුවන් එක්කත් එනවා. ප්‍රශ්නය තියෙන්නේ තරුණ අයටත් මේ ඉල්ලන සමහර ලේඛන ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා නිවැරදි දැනුමක් නෑ. ඇතැම් ඒවා ඉල්ලන්නේ පීඩීඑෆ් විදියට. ඡායාරූපයක් අරගෙන ඒක පීඩීඑෆ් කරලා උඩුගත කරන්න තේරෙන්නේ නෑ. අවශ්‍ය ලේඛනයක ෆොටෝ එකක් පැහැදිළිව පෙනෙන විදියට ගන්න තේරෙන්නෙත් නෑ. මේ නිසා ශ්‍රී ලංකාවේ ආධාර, සහනාධාර සහ වෙනත් දීමනා ගන්න එන ජනතාවට ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙන්න කිව්වට ඒක කොයිතරම් ප්‍රායෝගික ද කියලා බරපතල ගැටලුවක් තියෙනවා.” එසේ කීවේ රජයේ කාර්යාලයක නිලධාරී මහත්මයෙක් වන සහන් හේවා ගමගේ මහතා ය.

ශ්‍රී ලංකාවේ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ උත්සාහයේ දී වැඩිහිටි වියේ පසුවන කිසිදා පරිගණක අධ්‍යාපනයක් නොලැබූ කාන්තා සහ පිරිමි සියලු දෙනා ම දැඩි අසීරුතාවලට මුහුණ දෙන අතර තාක්ෂණයේ නොසිතූ ගොදුරු බවට පත්ව සිටිති. මෙය අසමානතාවේ නවතම මුහුණුවරකි.

ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයේ ඉහළ අගයක පවතින රටක් ලෙස කොතෙක් පුරසාරම් කීව ද එහිදී සැලකිල්ලට ගන්නේ ලිවීමේ සහ කියවීමේ හැකියාව පමණි. නමුත් වර්තමාන ලෝකයේ සාක්ෂරතාව යන්නට අකුරු ලියන්නටත් කියවන්නටත්, නැතිනම් අත්සනක් දැමීමටත් ඇති හැකියාව පමණක් ද ? එය තවදුරටත් ප්‍රමාණවත් සාක්ෂරතාවක් නොවේ.

පාසලට දරුවකු ඇතුළත් කිරීම, රැකියා අයදුම්පත්‍රයක් පිරවීම, බැංකු ගිණුම් භාවිතය, රජයේ ආධාර ලබාගැනීම, දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගැනීම, රෝහලක වෛද්‍යවරයකු හමුවීම, ඖෂධ ලබාගැනීම පමණක් නොව දරුවන්ගේ අමතර පන්ති ඉගැන්වීම් පවා අන්තර්ජාලය ඔස්සේ සිදුවන යුගයක් දක්වා ශ්‍රී ලංකාව ද වේගයෙන් ගමන්කර තිබේ.

මේ නිසා ඩිජිටල් සාක්ෂරතාව යනු ඕනෑම පුරවැසියකුට අත්‍යාවශ්‍යවන නව මූලික කුසලතාවක් බවට පත්ව තිබේ.

යථාර්ථය නම් ශ්‍රී ලංකාවේ මිලියන ගණනක වැඩිහිටියන් මේ පරිවර්තනය සඳහා සූදානම්ව නොසිටීමයි.

ශ්‍රී ලංකාවේ ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පරිගණක සාක්ෂරතාව පිළිබඳ වූ 2024 වාර්තාවේ දැක්වෙන්නේ රටේ ජනතාවගෙන් පරිගණක සාක්ෂරතාව ඇත්තේ 35.9කට පමණක් බවයි. රටේ ජනගහණයෙන් පිරිමි 37.3%කට පරිගණක සාක්ෂරතාව ඇති අතර කාන්තාවන්ගෙන් පරිගණක සාක්ෂරතාව ඇත්තේ 34.6%කට පමණි.

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සහ ඩිජිටල් සාක්ෂරතාව යන දෙකම සැළකූ විට පරිගණක සාක්ෂරතාව 35.9%ක් ලෙස දැක්වෙද්දී ඩිජිටල් සාක්ෂරතාව 65.0%කි.

කෙසේ වෙතත් 2024 වාර්තාවට අනුව ඩිජිටල් සාක්ෂරතාව අතින් ද පිරිමි ඉදිරියෙන් සිටිති. පිරිිමින්ගේ ඩිජිටල් සාක්ෂරතාව 67.2% වන අතර කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව 62.9%කි.

පරිගණක සාක්ෂරතාව (Computer Literacy) සහ ඩිජිටල් සාක්ෂරතාව (Digital Literacy) යනු එකිනෙකට සම්බන්ධ නමුත් පැහැදිලි වෙනස්කම් සහිත සංකල්ප දෙකකි. වර්තමාන තාක්ෂණික ලෝකයේ මේ දෙකම ඉතා වැදගත් වේ.

පරිගණක සාක්ෂරතාව යනු පරිගණකයක් සහ ඒ ආශ්‍රිත දෘඩාංග (Hardware) සහ මෘදුකාංග (Software) ක්‍රියා කරවීමට ඇති මූලික හැකියාවයි. මෙය තාක්ෂණය භාවිත කිරීමේ පළමු පියවර ලෙස සැලකේ. මෙය “පරිගණකය ක්‍රියා කරවන්නේ කෙසේද?” යන තාක්ෂණික දැනුම පිළිබඳව අවධානය යොමු කරයි.

ඩිජිටල් සාක්ෂරතාව යනු පරිගණක සාක්ෂරතාවයට වඩා පුළුල් සංකල්පයකි. මෙයින් අදහස් වන්නේ ඩිජිටල් තාක්ෂණය, සන්නිවේදන මෙවලම් සහ ජාල භාවිත කරමින් තොරතුරු සොයා ගැනීමට, ඒවායේ නිවැරදිභාවය තක්සේරු කිරීමට සහ නව අන්තර්ගතයන් නිර්මාණය කිරීමට ඇති බුද්ධිමත් හැකියාවයි. මෙය “තාක්ෂණය භාවිත කරමින් තොරතුරු බුද්ධිමත්ව හසුරුවන්නේ කෙසේද?” යන්න පිළිබඳව අවධානය යොමු කරයි.

ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 40-49ත් අතර කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ගේ 2024 වර්ෂයේ පරිගණක සාක්ෂරතාව 26.2%ක් වෙද්දී ඩිජිටල් සාක්ෂරතාව 66.1% බවයි. වයස අවුරුදු 50-59ත් අතර පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව 16.2%ක් ලෙස දැක්වෙද්දී ඩිජිටල් සාක්ෂරතාව 44.2%කි. වයස අවුරුදු 60-69ත් අතර කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව 7.4% වන අතර ඩිජිටල් සාක්ෂරතාව 25.2%කි.

මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන්නේ සමස්ත ජනගහනයෙන් 54.6%ක් වන අතර විද්‍යුත් තැපැල් භාවිත කරන්නේ 19.3%ක් වැනි ඉතාමත් සුළු පිරිසකි.

මෙරට වයස අවුරුදු 40-49ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් සැලකූ විට ඒ අතරින් 55.5%ක් අන්තර්ජාලය භාවිත කරන අතර විද්‍යුත් තැපැල් භාවිත කරන්නේ 17.3%ක් පමණි. වයස අවුරුදු 50-59ත් අතර ජනගහනය සැලකූ විට ඉන් 34.4%ක් අන්තර්ජාල පහසුකම් භාවිත කළ ද විද්‍යුත් තැපැල් භාවිත කරන්නේ 10.8%කි. වයස අවුරුදු 60-69ත් අතර වයස් කාණ්ඩය සැලකූ විට අන්තර්ජාලය භාවිත කරන්නන් ප්‍රමාණය 17.8% වන අතර විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කරන්නේ 4.5%ක් තරම් ඉතාමත් සුළු පිරිසකි.

මෙම සංඛ්‍යාලේඛන දත්ත අනුව පැහැදිලි වන්නේ වයස්ගතවීමේ අනුපාතයත් සමග ඩිජිටල් සාක්ෂරතාවය ද ක්‍රමයෙන් අඩුවී ඇති බවයි.

බූස්සේ පදිංචි ඒස්. ජී. පුංචිහේවා මහත්මිය නගරයේ ඇති බැංකුවකට ගොඩවූයේ රුපියල් 48,000.00ක මුදලක් තම පුතාගේ ගිණුමට දැමීමටය. බැංකුවට ගිය ඇය වෙනදා සුපුරුදු ආකාරයට පෝරමයක් පුරවා කවුන්ටරයේ තිබූ පෝළිමේ ගොස් මුදල අදාළ බැංකු නිලධාරිනිය අතට දුන් විට ඇය කීවේ රුපියල් ලක්ෂ 02ට අඩු මුදල් කවුන්ටරයෙන් දැමිය නොහැකි බවයි. ඒ සඳහා එළියේ ඇති ස්වයංක්‍රීය මුදල් තැන්පත් යන්ත්‍රය භාවිත කරන ලෙස ඇය දැනුම් දුන්නාය.

නමුත් ඇයට ස්වයංක්‍රීය මුදල් තැන්පත් යන්ත්‍රයට මුදල් ඇතුළු කරන ආකාරය හෝ එය භාවිත කරන ආකාරය ගැන කිසිම දැනුමක් නොවීය. තමන්ට එය නොතේරෙන බව කී විට බැංකු නිලධාරිනියගේ පිළිතුර වූයේ ආරක්ෂක නිලධාරියාගේ සහාය ඉල්ලා ගන්නා ලෙසයි.

ඇය මෙසේ පවසයි.

“මට දැන් වයස අවුරුදු හැට නවයක් වෙනවා, අපිට මේවා තේරෙන්නේ නෑ. බැංකුවකට ඇවිත් සල්ලි ගන්න හදනකොට කියනවා කාර්ඩ් එක ගහලා මැෂින් එකෙන් සල්ලි ගන්න කියලා. කාර්ඩ් එකක් තිබුණට ඕවා පාවිච්චි කරන විදිය අපි දන්නේ නෑ. දැන් අලුත්ම සෙල්ලම රුපියල් ලක්ෂ 02කට වඩා අඩුවෙන් මුදලක් තැන්පත් කරනවානම් ඒක කරන්නත් මැෂින් එක පාවිච්චි කරන්නලු. අපිට සල්ලි ගන්න වෙලා තියෙන්නෙ මැෂින් එක ගාවට කවුරුහරි එනකම් බලාගෙන ඉදලා ඒ අයගේ උදව්වෙන්.”

SDG Goals යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 දී හඳුන්වා දුන්, 2030 වන විට ලෝකය වඩා සාධාරණ, සමාන හා ස්ථායි තැනක් කිරීම සඳහා වූ ඉලක්ක 17ක එකතුවකි. දුප්පත්කම අවම කිරීම, ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍යය, සමානාත්මතාව සහ පරිසර ආරක්ෂාව මෙහි ප්‍රධාන අරමුණු වේ. ශ්‍රී ලංකාව ද මෙම SDG ඉලක්ක සියල්ල නිල වශයෙන් ඉටු කිරීමට එකඟ වී ඇත.

ඒ් අනුව, SDG ඉලක්ක 04 ට අයත් වන ගුණාත්මක අධ්‍යාපනය යටතේ, වැඩිහිටි අධ්‍යාපනය හා ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි. රජය විසින් වැඩසටහන් සහ ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වා දී ඇතත්, ඒවා ප්‍රමාණවත් ලෙස සහ සමාන ලෙස ක්‍රියාත්මක වී නැති බව බොහෝ විශේෂඥයෝ පෙන්වා දෙති.

රජයේ ප්‍රධාන පරිපාලන ව්‍යුහයන් වන දිස්ක්‍රික් ලේකම් කාර්යාල හරහා හෝ පළාත් සභා හරහා වැඩිහිටි අධ්‍යාපනය සම්බන්ධව කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක නොවන බව ඒ් පිළිබඳව විමසීමේදී අපට දැනගත හැකි විය. මේ සම්බන්ධව අදහස් දක්වමින් සමාජ සේවා නිලධාරිනියක කියා සිටියේ, වැඩිහිටියන්ගේ සමාජ සුබ සාධන වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන්වී ඇතත් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නංවාලීම සඳහා කිසිදු වැඩසටනක් ක්‍රියාත්මක නොවන බවයි.

ග්‍රාමීය සහ අඩු ආදායම් පසුබිම්වල වැඩිහිටියන්ට ඩිජිටල් උපාංග, අන්තර්ජාල පහසුකම් සහ නියමිත පුහුණුව නොලැබීම නිසා, වැඩිහිටි ඩිජිටල් සාක්ෂරතාව සම්පූර්ණ ලෙස සුරක්ෂිත කර ගැනීමට රජය තවමත් අසමත් වී ඇති බව මෙමගින් පැහැදිලි වේ. එබැවින් SDG 04 සම්බන්ධයෙන් රජයේ වගකීම සම්පූර්ණයෙන් ඉටු වී ඇතැයි කියා සිටීම අපහසු වන අතර මෙය ප්‍රතිපත්ති මට්ටමේ පොරොන්දු සහ භූමියේ යථාර්ථය අතර පවතින දැවැන්ත හිඩසක් ලෙස සැලකිය හැකිය.

ගාල්ල, හෝලුවාගොඩ පදිංචි හැටපස් හැවිරිදි වියේ පසුවන සුනිමල් දිසානායක මහතාට සිය දියණිය ජීවත්වන ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදීමට අවස්ථාවක් ලැබී තිබිණි. මේ සඳහා ඔහු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත යුතුවිය. ඒ සඳහා මාර්ගගතව ඉල්ලුම්කර දිනයක් ලබාගැනීම සඳහා වෙනත් අයකුගෙන් ඉල්ලාගත් ජංගම දුරකථනයක් භාවිත කරමින් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූ විට ඔහුට සිදුවූයේ ඩිජිටල් සේවා සපයන ස්ථානයකින් එම සේවාව ලබාගැනීමයි. ඉන්පසු සංචාරය සඳහා වීසා ලබාගැනීම ද ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම ඔහුට දැඩි අසීරු කරුණක් වූ බැවින් ඒ පිළිබඳ අත්දැකීම් ඇති අයකු සොයා වෙහෙස වීමට සිදුව තිබිණි.

“මේවා ඔක්කොම ඔන්ලයින් කරලා තියෙන්නේ අපේ පහසුවට කිව්වාට, ඒක අපිට පහසු දෙයක් නෙවෙයි. කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඒවා තේරුම් ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි පාස්පෝට්වලට වීසා වලට අවශ්‍ය ඡායාරූප ඇතුළු කරන්න, ඔන්ලයින් ගෙවීම් කරන්න මේ දේවල් අපිට තේරෙන්නේ නෑ.”

මෙවැනි කතාවලින් හෙළි වන්නේ ශ්‍රී ලංකාව බොහෝ කාලයක් තිස්සේ මග හැර සිටි සත්‍යයකි. එනම්, වැඩිහිටි අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනය සමඟ වේගයෙන් ගමන් කර නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ වේගවත් ඩිජිටල්කරණය, මාර්ගගත විදේශ ගමන් බලපත්‍රවල සිට ඩිජිටල් ඉඩම් වාර්තා දක්වා, ධනාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකි නමුත් එය සංක්‍රාන්තිය සඳහා සූදානම් නැති වැඩිහිටියන්ට නව බාධක නිර්මාණය කර ඇත.

සමෘද්ධි සහ අස්වැසුම අයදුම්පත් දැන් මාර්ගගතව ඇත. පොදු විභාගවල ප්‍රතිඵල මුලින්ම ප්‍රකාශයට පත් කරන්නේ ඩිජිටල් ක්‍රමයටයි. රජයේ රැකියා සඳහා මාර්ගගත අයදුම්පත් අවශ්‍ය වේ. බැංකු ගනුදෙනුකරුවන් ඩිජිටල් ගෙවීම් වෙත තල්ලු කරයි. විදුලිය, ජලය, දුරකථන බිල්පත් ගෙවීම් ඩිජිටල් ක්‍රමය වෙත යොමු වී ඇත.

ඩිජිටල් කුසලතා නොමැති පිරිස් ප්‍රමාදයන්, අමතර ගමන් වියදම්, රැකියා අවාසි සහ සමාජ බැහැර කිරීම් වලට මුහුණ දෙති.

දකුණේ අවිධිමත් අධ්‍යාපන මධ්‍යස්ථානයක ඉගැන්වීමේ යෙදී සිටින නවීන් සමරතුංග මහතා මෙසේ කීවේය.

“ශ්‍රී ලංකාවේ ඉතාමත් දීර්ඝ කාලයක ඉදලා ලිවීමේ කියවීමේ ඉගැන්වීම් කරනවා. නමුත් අද ඇත්තම ගැටලුව ලිවීම සහ කියවීම නෙවෙයි; ඩිජිටල් සහ අන්තර්ජාල සාක්ෂරතාව ප්‍රධාන ගැටලුවක් වෙලා. විශේෂයෙන් ම මෙය වැඩිහිටි පරම්පරාව මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්.

ඔවුන් වැඩි දෙනෙකු කිසිදා පාසල් අධ්‍යාපනයේ දී පරිගණක භාවිත කර නැහැ. ඒ වගේ ම අන්තර්ජාලයේ තිබෙන ඩිජිටල් සේවාවන් බොහොමයක් සරල සිංහල සහ දෙමළ භාෂාවලින් ක්‍රියාත්මක වන්නේ කලාතුරකින්. ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවත් නිරන්තර බාධකයක් වෙනවා. ප්‍රධානම කාරණය තමයි වැඩිහිටියන් වැඩි දෙනෙකුට මේ ඩිජිටල් සහ මාර්ගගත ක්‍රම ගැන විශ්වාසයක් නොමැතිකම. ඔවුන් හිතනවා තමන්ට මේ දේවල් කරන්න ගිහින් වරදීවි කියලා. ඒ වගේම තමන් වංචාවකට හසුවේවි කියලා ඔවුන්ට සැකයක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට මේ සාක්ෂරතාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් නැති ගැටලුවත් තිබෙනවා.

ශ්‍රී ලංකාව වැඩිහිටි ඩිජිටල් සහ අන්තර්ජාල සාක්රතාව තවමත් ගැටලුවක් කරගෙන සිටිය දී ලෝකයේ බොහෝ රටවල් එම අභියෝගය ජයගෙන තිබේ.

ෆින්ලන්තය: සෑම ප්‍රජාවක් සඳහාම ඉගෙනුම් මධ්‍යස්ථාන

ෆින්ලන්තය කන්සාලයිසොපිස්ටෝ – ප්‍රජා වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානවල ශක්තිමත් පද්ධතියක් ගොඩනඟා ගත් අතර එමඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුවේ සිට භාෂා හා කලා පාඨමාලා දක්වා සියල්ල පිරිනමනු ලැබේ.

මෙවැනි මධ්‍යස්ථාන සෑම නගරයකම ස්ථාපිත කර ඇති අතර පන්ති පවත්වන්නේ නොමිලයේ හෝ ඉතාමත් අඩු අයකිරීමකිනි. එවැනි අධ්‍යාපනයක් ලැබීම වැඩිහිටියන්ගේ ජීවිතයේ සාමාන්‍ය කොටසක් ලෙස ෆින්ලන්තයේ සලකයි. මේ අනුව එරට වැඩිහිටියන් අති බහුතරයරක් වාර්ෂිකව වැඩිහිටි පාඨමාලා හදාරයි.

දකුණු කොරියාව: වැඩිහිටියන් සඳහා ඩිජිටල් පුහුණුව

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර ඩිජිටල් පරතරයකට මුහුණ දෙමින්, දකුණු කොරියාව රට පුරා ඩිජිටල් නිපුණතා මධ්‍යස්ථාන 1,300කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කර ඇත.

ඔවුන් ස්මාර්ට් ෆෝන් භාවිතය, විද්‍යුත් සේවාවන් පිළිබඳ පුහුණුව ලබාදීම සහ පොදු ස්ථානවල ඩිජිටල් සහ අන්තර්ජාල සාක්ෂරතාව වැඩිදියුණු කරන උපකාරක ස්ථාන පවත්වාගෙන යාම සිදුකරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ වැඩිහිටියන් අතර ඩිජිටල් සාක්ෂරතාව වසර 05ක් තුළ 25%කින් වර්ධනය විය.

ඉන්දියාව: කාන්තාවන්ට වැඩි අවධානය

ඉන්දියාවේ PMGDISHA වැඩසටහන කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මිලියන 40 කට අධික ග්‍රාමීය වැඩිහිටියන්ට ඩිජිටල් කුසලතා පිළිබඳ පුහුණුව ලබා  දී ඇත. එහි දී ඔවුන්ට දේශීය භාෂා යොදාගැනීම, ප්‍රජා සේවාවන් ඩිජිටල් මගින් සිදුකිරීම වැඩිදියුණු කිරීම සහ ඒ සියල්ලට ඉතාමත් පහසු ආකෘති සකස් කිරීම සිදුකෙරිණි. මේ වනවිට ඉන්දියාවේ වීදි වෙළෙන්දන් පවා ගෙවීම් කිරීමට QR ක්‍රමය භාවිත කරන තරමට එම ව්‍යාපෘතිය සාර්ථක වී ඇත.

බංග්ලාදේශය: ගමේ මිදුලේ ඉගෙනීම

බංගලාදේශය අඩු වියදම් නමුත් ප්‍රයෝජනවත් අදහසක් ඉදිරිපත් කර තිබේ. කාන්තාවන්ගේ සුපුරුදු අවකාශය වන ගමේ එළිමහන් අවකාශයන් හි රැස්වී තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු ඉගෙනුමට අවස්ථාව ලබා දී ඇත. එහි දී පුහුණුකරුවන් යොදා ඔවුන් ස්මාර්ට් උපකරණවලට පුහුණු කෙරිණි. ප්‍රතිඵලය වූයේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු වීමයි.

සිංගප්පූරුව: නිදහස් ඉගෙනුම් ණය

සිංගප්පූරුව ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී ජීවිත කාලය පුරාම ඉගෙනුම් වැඩසටහන ගොඩනගා ඇත. සෑම වැඩිහිටියකුට ම මෙවැනි පාඨමාලා හැදෑරීම සඳහා සිංගප්පූරු ඩොලර් 500ක ණය මුදලක් ලැබෙයි. ඔවුන්ට එලෙස හැදෑරීම සඳහා උසස් තත්ත්වයේ පාඨමාලා දහස් ගණනක් ගොඩනගා ඇත. ඒ අනුව සැමට ප්‍රතිලාභ හිමිවන බැවින් සියලු වැඩිහිටියෝ ඩිජිටල් දැනුම ලබාගැනීමට දැඩි උනන්දුවක් දක්වති. ඔවුන් සලකන්නේ ඉගෙනීම බරක් නොව අයිතියක් ලෙසයි.

ලාංකික වැඩිහිටියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවයේ ගැටලුව විසඳීම සඳහා  ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය වේ. ඉහත ජාත්‍යන්තර සිද්ධීන් සියල්ල සැලකූ විට පෙනී යන්නේ වැඩිහිටියන්ට ඕනෑම වයසක දී ඩිජිටල් අධ්‍යාපනය ලැබිය හැකි බවයි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අවධානය සහ කැපවීම අත්‍යාවශ්‍ය කරුණකි. මහා පරිමාණ වැඩිදියුණු කිරීම් සඳහා නිසි ආයෝජන, පුහුණුකරුවන් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍යව ඇත.

බන්දුල රණතුංග මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයේ ප්‍රධානියා සහ GOVTEC ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. හෙතෙම මෙසේ කීවේය.

“ඩිජිටල් සාක්ෂරතාව අදියර තුනකට වෙන්කරන්න පුළුවන්. ක්‍රමාලේඛන හැකියාව, සේවා සැපයීමේ හැකියාව සහ පද්ධතීන්වලින් සේවා ලබාගැනීමේ හැකියාව. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන්නේ සේවා ලබා ගැනීමේ හැකියාව. සමස්තයක් හැටියට ගත්තම ශ්‍රී ලංකාවේ මෙය ඉතාමත් ප්‍රශස්ත මට්ටමක තියෙනවා. නව ළමා සහ තරුණ පරපුරට මේ පිළිබඳ ගැටලුවක් නෑ. නාගරික සහ අර්ධ නාගරික පුද්ගලයන්ගේ ඩිජිටල් යෙදුම් භාවිතය වැඩි නිසා ඔවුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළයි.

මොන විදියේ වෘත්තියක යෙදෙන අයකු වුණත් ජංගම දුරකථනයක් භාවිත කරන තත්ත්වයට රට පත්වෙලා තියෙනවා.  ග්‍රාමීය වැඩිහිටි ජනතාවට තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ අතරත් දුරකථන ඇමතුමක් ගන්න, බැංකු ගිණුම් අංකයක් එස්එම්එස් එකකින් එවන්න දැනුම තියෙන බහුතරයක් ඉන්නවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2030 දක්වා සකස් කළ සැලැස්මක් තියෙනවා කොටස් 05කින් සමන්විත. එහි ප්‍රධාන එකක් තමයි ශ්‍රී ලංකාවේ ඩිජිටල් ධාරිතා සංවර්ධනය. ඒකත් නැවත කොටස් තුනකට බෙදනවා. එහි දී අපි අපේ රටට ගැලපෙන ඩිජිටල් ක්‍රමලේඛන හැකියාව ඇති ලක්ෂ 02ක පිරිසක් පුහුණු කරනවා. ඔවුන් නිර්මාණය කරන පද්ධති භාවිත කරලා රාජ්‍ය සේවයේ ඩිජිටල් සේවා ධාරිතාව වර්ධනය කරන්න ඉලක්කයක් තිබෙනවා. ඒ සඳහා ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීමය අවශ්‍යතා ඉටුකරන්න සැස්මක් තියෙනවා. තෙවනුව අපි කරන්නේ එය මහජනතාව අතර ජනගත කිරීමයි. ප්‍රතිඵලය වෙන්නේ මුදල් භාවිතයෙන් තොර, කාසි නොට්ටු නැති, පේපර්වර්ක්ස් එහෙම නැත්නම් කොළ නැති සහ කාර්යාලවලට පැමිණීමට අවශ්‍ය නැති සමාජයක්, ආර්ථිකයක්, රටක් නිර්මාණය කරන එක. ඒ සමඟ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

විද්‍යා ලේඛකයකු සහ මාධ්‍ය පර්යේෂකයකු වන නාලක ගුණවර්ධන මහතා මෙලෙස පවසයි.

“වර්තමානයේ තියෙන්නේ ඩිජිටල් ලෝකයක්. එය නිවසේ සිටියත්, වැඩපළට ගියත්, කාර්යාලයකට ගියත් අත්‍යාවශ්‍යවන දැනුමක්. නමුත් අපි රටක් හැටියට මේ දැනුමේ ඉතාමත් පසුගාමී තත්වයක ඉන්නේ. වර්තමාන ලෝකයේ ඩිජිටල් දැනුම කියන්නේ ෆෝන් එකක් පාවිච්චි කරන්න, අයදුම්පත්‍රයක් පුරවන්න, මේල් එකක් යවන්න වගේ සරල දෙයක් විතරක් නෙවෙයි. එය පුද්ගලයාගේ සහ සමස්ත රටේ ආර්ථිකය සවිබල ගැන්වීම, සියලු කටයුතු කාර්යක්ෂම කිරීම, පුද්ගලික සහ රාජ්‍ය ආරක්ෂාව ලැබීම දක්වාම ඉතාමත් පුළුල් පරාසයක විහිදෙන දෙයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීමට කඩිනම් සහ ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. නැතිනම් අපිට මේ ඩිජිටල් සාක්ෂරතාව නොමැති වැඩිහිටියන් විශාල පිරිසක් සමඟ නූතන ලෝකයේ ඉදිරියට යාම අපහසු දෙයක් වේවි. ඩිජිටල් සාක්ෂරතාව මනින මිනුම් ඒකකය පිළිබඳවත් ඇත්තටම ශ්‍රී ලංකාව තුළ ගැටලුවක් තියෙනවා. සැබෑ ඩිජිටල් සාක්ෂරතාව කියන්නේ ෆෝන් එකකින් ඇමතුමක් ගැනීමේ හැකියාව, පෝරමයක් පුරවා ගැනීමේ හැකියාව, QR කේත භාවිතයේ හැකියාව සහ පරිගණකයක් හැසිරවීමේ හැකියාව විතරක් විය යුතුද? අද ලෝකයේ ඩිජිටල් සාක්ෂරතාවට තමන්ගේ ආරක්ෂාව, අනන්‍යතා රැකගැනීම, බැංකු ගිණුම් ඇතුළු පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගැනීම වගේ කාරණාත් ඇතුළත් විය යුතුයි. නමුත් අපේ සමීක්ෂණ වාර්තාවල මේ කාරණා සොයා බලනවා ද කියා ගැටලුවක් මතුවෙනවා.”

කොළඹ විශ්වවිද්‍යාලයේ, මානව සම්පත් අභිවර්ධන ආයතනයේ මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහතා මෙසේ කීවේය.

අද වනවිට තාක්ෂණය අත්‍යාවශ්‍ය සාධකයක්. දැන් ඩිජිටල් සාක්ෂරතාව නැති අයකුට පිටරටක සංචාරය කරන්න බැරි මට්ටමට ඇවිත්. තවමත් අපේ රටේ අධිවේගී මාර්ගයක ටිකට් එක දෙන්නේ පුද්ගලයෙක්. අනෙක් රටවල එහෙම නෑ. අපි මේ තත්ත්වයට ඇවිත් නැත්තේ මිනිස්සු මේ දේවල්වලට පුරුදු වෙලා නැති නිසා. වැඩිහිටියන්ට ඩිජිටල් සාක්ෂරතාව නැති නිසා තමන්ගේම දරුවන් මොනවා කරනවා ද කියා සොයා බලන්න විදියක් නෑ. අද ලෝකයේ අධ්‍යාපනය සඳහා පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට යන්න අවශ්‍ය නෑ. ඒක ෆෝන් එක හරහා ගෙදරට ඇවිත් තියෙනවා. ව්‍යාපාරික අවකාශ ගෙදරටම ඇවිත් තියෙනවා. නමුත් අපේ රටේ මේ ඩිජිටල් සාක්ෂරතාව නැති නිසා අපි රටක් විදියට බොහෝ පිටුපසින් සිටින බව කිව යුතුයි. කොරෝනා නිසා අපි මේ තාක්ෂණය තරමක් දුරට භාවිතයට පෙළඹුණා. වැඩිහිටියන්ට මේ දැනුම ලබාදෙන්න වැඩසටහන් සකස්විය යුතුයි. ගමේ නිවසක පවා රූපවාහිනියක් තියෙන නිසා ඒ් හරහා ඩිජිටල් සාක්ෂරතාව ලබාදීම කරන්න පුළුවන්. තරුණ පරම්පරාව ඩිජිටල් සාක්ෂරතාවයේ ඉස්සරහින් ඉන්නවා. ඔවුන් වැඩිහිටියන් වීමෙන් තමයි ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු වෙලා තියෙන්නේ. නැතිව තවමත් ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුරට ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කරන්න ස්ථිර වැඩපිළිවෙලක් නෑ.

ශ්‍රී ලංකාවට එහි වැඩිහිටියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවයේ මට්ටම නොසලකා හැරිය නොහැකිය. රටේ ජනගහනයෙන් අඩක් පිටුපසින් තබා රට ඉදිරියට ගෙන යාමක් ගැන කතා කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නැත. රට ඉදිරියට යන්නේ නම් ඒ සඳහා සියලු ප්‍රජාවන් සහසම්බන්ධ විය යුතුය.

 ඩිජිටල් සාක්ෂරතාව නොමැති වැඩිහිටියන්ද එම මූලික දැනුම සහිත පිරිසක් බවට පත්කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාවයකි.ඒ් සම්බන්ධ වගකීම පැවැරී ඇත්තේ රජයටය. එය නොසලකා රට තිරසර සංවර්ධන ඉලක්ක කරා රැගෙන යාමට හැකියාවක් නැත.

ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කිරීමට, මාර්ගගත පෝරමයක් ඉදිරිපත් කිරීමට හෝ විද්‍යුත් සේවාවකට ප්‍රවේශ වීමට ඉගෙන ගන්නා සෑම වැඩිහිටියෙකුම වඩාත් ස්වාධීන, තවදුරටත් මුදල් ඉපයිය හැකි සහ රැකියා කළ හැකි, විශ්වාසදායී මෙන්ම ලෝකය සමඟ සම්බන්ධිත පුද්ගලයකු වනු ඇත.

එය එසේ නොවන තුරු මෙය අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් පමණක් නොවනු ඇත. එය මානව සංවර්ධනයේ ප්‍රමුඛතාවකි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර තවමත් බොහෝ පිටුපසින් සිටිය ද ඔවුන්ට ද ඩිජිටල් ලෝකයේ බලාපොරොත්තු ඇතිකළ හැකි බව විශ්වාස කිරීමම මෙම ඉලක්ක ජය ගැනීමේ මාර්ගය වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!