25.8 C
Galle

ගංජා වැටලූ පොලිස් නිලධාරියාට, මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්

Published:

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියට අයත් ඉඩමක ගංජා වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරියකු එම මන්ත්‍රීවරයාගේ පහරදීමට ලක්ව ඇඹිලිපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සුසන්ත නමැති පොලිස් නිලධාරියෙකි.

ඔහු පවසා ඇත්තේ තමන් රාජකාරී නිමවා නිවසට එමින් සිටි අවස්ථාවේ දී වෙළෙඳ සැළක් අසළ දී ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකළ බවයි.

තමන් වෙළෙඳ සැළට යන අවස්ථාවේ දී එම ස්ථානයේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය තිබූ බවත් එතැනට පැමිණි මන්ත්‍රීවරයා “මට උඹව හම්බවෙන්න ඕනෑ” යැයි පැවසූ බවත් පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා පවසයි.

“අවශ්‍යනම් හමු වෙමු” යැයි තමන් ද කී බවත් ඒ අවස්ථාවේ දී වචන කිහිපයක් හුවමාරු වූ බවත් ඔහු පවසයි. අනතුරුව තමන් නිවස බලා යමින් සිටිය දී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ලබාගත් බවත් තමන් යතුරුපැදියෙන් බැසීමට උත්සාහ ගත් අවස්ථාවේ දී කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහර එල්ල කළ බවත් පොලිස් නිලධාරියා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම අවස්ථාවේ දී තමන්ගේ දෑස් නොපෙනී ගිය බවයි. ඒ සමඟම තමන්ට පහරදුන් බවත් එම ස්ථානයේ මන්ත්‍රීවරයාට අමතරව තවත් පිරිසක් සිටි බවත් ඔවුන් තමන්ට හඳුනාගත හැකි බවත් පොලිස් නිලධාරියා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන්ට කරන ලද පහරදීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංශය වන 118ට තමන් මේ පිළිබඳ දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් තමන්ගෙන් මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ප්‍රකාශයක් ලබා නොගත් බව ද ඔහු කියයි.

තමන් කොලොන්න රෝහලට පළමුව ඇතුළත් වූ බවත් එම අවස්ථාවේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා තමන් බැලීමට පැමිණි බවත් ඔහු පවසයි. පසුව ඔහු ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇත. තමන් හෘද සැත්මකට ලක්වූ අයකු බැවින් මෙම පහරදීමෙන් තමන්ගේ පපුවට, හිස සහ දෑස්වල දැඩි වේදනාවක් ඇති බැවින් කඩිනමින් රෝහල්ගත වීමට කටයුතු කළ බව ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් මාධ්‍යයට පවසා ඇත.

මේ අතර අදාළ මන්ත්‍රීවරයා ද කොලොන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ එම පොලිස් කොස්තාපල්වරයා තමන්ට අයුතු අවහිරයක් පෑ බවයි.

ගංජා වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කළේය.

ඔහු එහි දී මෙසේ කීවේය.

“මා ඉලක්ක කරගනිමින් සාවද්‍ය කරුණු සමාජගත කිරීමට සූරියකන්ද පොලිසියේ ස්ථානාධිපති සහ චාමින්ද සහ සුසන්ත යන දෙදෙනා විසින් ආරම්භ කරන ලදුව පසුව කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික යන අය විසින් ආරම්භ කරන ලදුව සමාජ මාධ්‍ය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යත්, මුද්‍රිත මාධ්‍ය තුළත් මගේ කටයුතුවලට සහභාගී වීමට බාධාවක් කරමින් අපහාස කර ඇති බව නිරීක්ෂණය කරමි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් සහ මාධ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල උල්ලංඝනය කර ඇත.”

Related articles

Recent articles

error: Content is protected !!