ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවාහි මධ්‍යම ප්‍රදේශයකදී මගීන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම අනතුර සඳුදා අලුයම මධ්‍යම ජාවා ප්‍රාන්තයේ සෙමරංග් නගරයට අයත් මාර්ගයක දී සිදුව ඇති බව වාර්තා වේ. මගීන් 34 දෙනෙකු රැගත් මෙම අන්තර් ප්‍රාන්ත බස් රථය, ඉන්දුනීසියානු අගනුවර ජකර්තා සිට පැරණි රාජධානී නගරයක් වන යෝග්‍යාකර්තා දක්වා ගමන් කරමින් සිට ඇත.
ඉන්දුනීසියා ජාතික සෙවුම් හා ආරක්ෂණ ආයතනයේ ප්‍රධානී බුඩියෝනෝ සඳහන් කළේ, වක්‍ර වූ පිටවීමේ මාර්ගයකට ඇතුළු වීමේදී බස් රථය පාලනයෙන් ඉවතට ගොස් කොන්ක්‍රීට් බාධකයක ගැටී පසුව පැත්තකට පෙරළී ගිය බවයි.
අනතුර සිදු වූ පසු මිනිත්තු 40ක පමණ කාලයකදී පොලිස් හා ආපදා සහන කණ්ඩායම් ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී එම ස්ථානයේම මිය ගිය මගීන් හය දෙනෙකුගේ සිරුරු හමුවී ඇත. තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්ගත කරන අතරතුර හෝ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව සඳහන් වේ.
තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු ආසන්න රෝහල් දෙකකට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතරින් පුද්ගලයින් පස් දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බවද, තවත් 13 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද බලධාරීහු පවසති.
සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ, අනතුර සිදුවීමට පෙර බස් රථය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබූ බවයි. මධ්‍යම ජාවා පොලිස් ප්‍රධානී රිබුට් හාරි විබෝවෝ පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය පදවමින් සිටියේ ආදේශක රියදුරෙකු බවත්, ඔහුද බරපතළ ලෙස තුවාල ලබා ඇති නමුත් ප්‍රතිකාර යටතේදී කතා කිරීමට හැකි තත්ත්වයක සිටින බවත්ය.
අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ වනවිට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රියදුරා මත්ද්‍රව්‍ය හෝ තහනම් ද්‍රව්‍ය භාවිතා කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත.


