27.3 C
Galle

වෛද්‍ය සහායක ගුවන් යානයක් කඩා වැටී පස්දෙනකු මරුට

Published:

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වස්ටන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට කුඩා වෛද්‍ය සහාය ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අනතුරෙන් පසු ගුවන් යානයේ සිටි අනෙකුත් පුද්ගලයින් සොයා මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකය.

මෙම අනතුර සඳුදා පස්වරුවේ, ටෙක්සාස් වෙරළ තීරයේ හූස්ටන් නගරයට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි ගැල්වස්ටන් නගරය ආසන්නයේ පාලමක් (causeway) අසලදී සිදුව ඇති බව වාර්තා වේ.

විදේශ මාධ්‍ය වාර්තා අනුව, මෙම ගුවන් යානය මෙක්සිකෝ නාවික හමුදාවට අයත් එකක් වන අතර, දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනකු රැගෙන යමින් සිට ඇත. ගුවන් යානය ක්‍රියාත්මක කර තිබුණේ, දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටින මෙක්සිකෝ දරුවන්ට සහාය ලබාදෙන Michou and Mau Foundation නම් ලාභ නොලබන සංවිධානය වෙනුවෙන් බව මෙක්සිකෝ බලධාරීන් සඳහන් කරයි.

මෙක්සිකෝ නාවික හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව, ගුවන් යානයේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති අතර, එයින් සිව් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් වන අතර, අනෙක් සිව් දෙනා සිවිල් පුද්ගලයින් වන අතර, ඔවුන් අතර කුඩා දරුවෙකු සහ පදනම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු ද සිට ඇති බව සඳහන් වේ. මියගිය පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය (U.S. Coast Guard) තහවුරු කර ඇත්තේ, මෙම අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවත්, අනතුරට හේතුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

Related articles

Recent articles

error: Content is protected !!