කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් ජනතාව නොමඟ යවන චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට (ට්‍රේලර්) ප්‍රචාරය කළ බවට චෝදනා ලැබූ ජනප්‍රිය යූටියුබ් නාලිකා දෙකක් වසා දැමීමට යූටියුබ් ආයතනය පියවර ගෙන තිබේ. AI මඟින් නිර්මාණය කරන වංචනික අන්තර්ගතයන් සම්බන්ධයෙන් මෙතෙක් ගත් දැඩිම ක්‍රියාමාර්ගවලින් එකක් ලෙස මෙය සැලකේ.
වසා දමා ඇත්තේ ඉන්දියාවේ පිහිටි Screen Culture නාලිකාව සහ ඇමරිකාවේ පදනම් වූ KH Studio නාලිකාවයි. මෙම නාලිකා දෙකට එක්ව තිබූ ග්‍රාහක සංඛ්‍යාව මිලියන දෙකකට අධික වන අතර, වසා දැමීමට පෙර වීඩියෝ නැරඹුම් වාර බිලියන එකකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
Deadline පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම නාලිකා පවත්වාගෙන ගිය පුද්ගලයන් කෘතිම බුද්ධිය භාවිත කර ව්‍යාජ චිත්‍රපට ට්‍රේලර් නිර්මාණය කර ඇති අතර, එම ට්‍රේලර්වලට පවතින චිත්‍රපටවලින් ලබාගත් කතෘ අයිතිය සුරකින ලද දර්ශන ද මිශ්‍ර කර තිබුණි. එම වීඩියෝ ඉදිරිපත් කර තිබූ ආකාරය නිසා බොහෝ ප්‍රේක්ෂකයින් ඒවා නිල චිත්‍රපට නිෂ්පාදන ආයතන විසින් නිකුත් කළ ට්‍රේලර් ලෙස වැරදි ලෙස විශ්වාස කර ඇති බව සඳහන් වේ.
යූටියුබ් ආයතනය මීට පෙර මෙම නාලිකා දෙකම මූල්‍ය ප්‍රතිලාභ අහිමි කිරීම (demonetization) සඳහා ලක් කර තිබුණි. කෙසේවෙතත්, නාලිකා පවත්වාගෙන ගිය පාර්ශවයන් “fan trailer” හෝ “unofficial” ලෙස දක්වා තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කිරීමෙන් පසු, යූටියුබ් ආයතනය අවසන් වශයෙන් එම ගිණුම් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට තීරණය කර ඇත.
යූටියුබ් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම නාලිකා spam, නොමඟ යවන අන්තර්ගතය සහ වංචනික ක්‍රියාමාර්ග සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවයි. කෘතිම බුද්ධිය භාවිත කර නිල අන්තර්ගත ලෙස පෙනෙන අයුරින් වීඩියෝ ඉදිරිපත් කිරීම, ප්‍රේක්ෂකයින්ට වංචාවක් වන බවත්, එවැනි ක්‍රියාදාමයන්ට ඉඩ නොදෙන බවත් යූටියුබ් අවධාරණය කර ඇත.
චිත්‍රපට සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ AI මඟින් නිර්මාණය කරන අන්තර්ගතයන් පිළිබඳව කනස්සල්ල වැඩිවෙමින් පවතින අතර, මෙම තීරණය වැදගත් මැදිහත්වීමක් ලෙස සැලකේ. විශේෂයෙන්ම, කතෘ අයිතිය සුරකින ලද දර්ශන භාවිතා කරමින් නිල නිර්මාණ ලෙස පෙනෙන AI අන්තර්ගතයන් පාලනය කිරීම සඳහා ඩිජිටල් වේදිකා මත දැඩි බලපෑම් පවතින බව ද විදේශ විශ්ලේෂකයින් පෙන්වා දෙති.
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වන සමයක, යූටියුබ් සහ අනෙකුත් ප්‍රධාන ඩිජිටල් වේදිකා ඉදිරියේදී මෙවැනි අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා තවත් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද අනාවැකි පළ වෙයි.


