ගාල්ල මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවැනිවරට අද (24) කියවා සභා සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමේ දී අයවැය යෝජනාවට විරුද්ධව ලබාදුන් ඡන්ද පවා පක්ෂව ලබාදුන් ඡන්දයැයි සළකුණු කරමින් ව්‍යාජ ලෙස අයවැය සභා සම්මත කරන ලදැයි විපක්ෂයේ සභිකයන් චෝදනා කිරීම හේතුවෙන් ගාල්ල මහ නගර සභාව ගාලගොට්ටියක් බවට පත්විය.
අද (24) සවස 2.00ට ගාල්ල මහ නගර සභා රැස්වීම පවත්වන ලද්දේ මීට පෙර පරාජයට පත් වූ අයවැය ලේඛනය සභා සම්මත කරගැනීමේ අපේක්ෂාවෙනි.
එහි දී ඒකාබද්ධ විපක්ෂයේ සභිකයන් කියා සිටියේ සභාව රැස්වන වේලාව පිළිබඳ හොරණ ප්‍රාදේශීය සභාවේ දී ගැටලුවක් මතු වූ බැවින් තමන් ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් වන බවයි. ඒ අනුව සභාව රැස්වූ අතර 2026 සඳහා වූ අයවැය ඒකමතිකව සභා සම්මත කරගැනීමට සියලු දෙනාගේ සහාය ලබා දෙන්න යැයි නගරාධිපති සුනිල් ගමගේ ඉල්ලා සිටියේය.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ නමින් හඬ නගා පක්ෂ විපක්ෂ බව ප්‍රකාශ කරමින් ඡන්ද විමසීම පැවැත්විණි. ඡන්ද විමසීම අවසන්වීමත් සමඟම අයවැයට පක්ෂව ඡන්ද 21ක් ද විපක්ෂව ඡන්ද 15ක් ද ලැබී ඇති බැවින් අයවැය ලේඛනය සම්මත වූ බව ප්‍රකාශ කෙරිණි.
අයවැය සම්මත වූ බව ප්‍රකාශ කිරීමත් සමඟම නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද සංඛ්‍යාව වැරදි බවත් විපක්ෂයැයි කියූ මන්ත්‍රීවරුන් ද පක්ෂයැයි ලෙසට ලේකම්වරිය විසින් සටහන් කරගෙන ඇතැයි ද ඔවුහු චෝදනා කරන්නට වූහ. ඒ අවස්ථාවේ දී විපක්ෂ සභිකයන් වන මොහොමඩ් සිරාජ්, සුසන්ත කරුණාරත්න, නිහාල් මහවිතාන සහ සුගත්ද සිල්වා සෘජුවම චෝදනා කළේ තමන් විපක්ෂයැයි කීව ද ලේකම්වරිය විසින් තමන් පක්ෂ ලෙසට සලකුණු කරමින් දැඩි වංචාවක් සිදුකර ඇති බවයි. ඒ සමඟම නගරාධිපතිවරයා සභාවේ කටයුතු අවසන් කර සිය අසුනෙන් ඉවත්ව ගියේ ය.
එහෙත් විපක්ෂයේ සභිකයන් දැඩි ලෙස විරෝධය පල කරමින් ලේකම්වරිය බලහත්කාරයෙන් සභා ගැබට කැඳවාගෙන පැමිණි අතර විපක්ෂයේ සභිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ජිලිත් නිශාන්ත වැඩබලන තාවකාලික නගරාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.
පසුව තාවකාලික නගරාධිපතිවරයා විසින් නැවත 2026 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයට ඡන්ද විමසීමක් පැවැත් වූ අතර එහි දී අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ සභිකයෝ 17 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. පාලන බලය හිමි ජාතික ජන බලවේගයේ සභිකයන් කිසිවෙකුත් එම අවස්ථාවේ සභා ගැබ තුළ සිටියේ නැත. ඒ අනුව අයවැයට විරුද්ධව ඡන්ද 17ක් ලැබී ඇති බවත් පක්ෂව කිසිදු ඡන්දයක් ලැබී නොමැති බවත් ප්‍රකාශ කරමින් 2026 අයවැය ලේඛනය දෙවැනි වරටත් පරාජයට පත් වූ බව තාවකාලික නගරාධිපති ජිලිත් නිශාන්ත ප්‍රකාශ කළේය.
මේ වනවිට නගර සභාව තුල සහ අවට දැඩි පොලිස් ආරක්සාවක් යෙදවා තිබින.
ඉන්පසු විපක්ෂ සභිකයන් කණ්ඩායම දෙවන වරට පැවැත්වූ ඡන්ද විමසීමේ ලේඛනය රැගෙන නාගරික කොමසාරිස්වරිය වෙත ගොස් ඉල්ලා සිටියේ එය පිළිගන්නා ලෙසයි. එම ලේඛනය පිටපතක් බාරගත් බවට කොමසාරිස්වරිය අත්සන්කර එක්සත් ජාතික පක්ෂ සභික ජිලිත් නිශාන්තට භාර දුන්නාය.
මෙහිදි විපක්ෂයේ සභිකයන් කියා සිටියේ සභා ලේකම්වරිය පළමු ඡන්ද විමසිමේදි පක්ෂපාතිව රාජකාරිය අවභාවිතා කරමින් කටයුතු කිරිම පිළබඳව පොලිසියට පැමිණිලි කරණ බවයි.
මෙම ඡන්ද විමසිම් දෙකෙන් පිළිගන්නේ කුමක්දැයි නාගරික කොමසාරිස්වරියගෙන් විමසුවිට ඇය කියා සිටියේ පලමු ඡන්ද විමසිම පිළිගන්නවාද නැතිනම් දෙවන ඡන්ද විමසිම පිළිගන්නවාද යන්න සම්බන්ධයෙන් තව දුරටත් සොයා බලා තිරණයක් ගැනීමට සිදුවන බවයි.
සභාව ආරම්භ කිරිමට පෙර විපක්ෂයේ නියෝජිතයෝ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතා පෙලපාලියක්ද පැවැත්වූහ.


