27.3 C
Galle

ජලයට බහින්න පෙර කිහිප වරක් හිතන්න. සියල්ල වෙනස් වෙලා

Published:

උත්සව සමය හා පාසල් නිවාඩු කාලය තුළ වැව්, පොකුණු, කලපු, ගංඟා, ඇළ දොළ සහ දිය ඇළි ඇතුළු විවිධ ජලාශ්‍රිත ස්ථාන භාවිතයේ දී මහජනතාව විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බවට මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. මෑතකදී රට පුරා ඇති වූ ආපදා තත්ත්ව හේතුවෙන් බොහෝ ස්වභාවික ජල ආශ්‍රිත පරිසරයන් හි පැවැති ස්වභාවය වෙනස් වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ, ගංඟා, ඔයවල් සහ නාන ස්ථානවල ජල මට්ටම්, ගැඹුරුභාවය සහ භූමි ස්ථායීත්වය ගංවතුර සහ වෙනත් ආපදා හේතුවෙන් දැඩි ලෙස වෙනස් වී ඇති බවයි.

“මීට පෙර ආරක්ෂිතයි කියලා හිතපු ස්ථාන අද වෙනකොට ඉතා අවදානම් වෙන්න පුළුවන්. කලින් ගැඹුර අඩු ස්ථාන දැන් ගැඹුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා නාන්න හෝ ජලය භාවිත කරන්න පෙර ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් උපදෙස් ගන්න එක ඉතා වැදගත්,” යනුවෙන් වෛද්‍ය සිරිතුංග අවධාරණය කළේය.

එමෙන්ම උත්සව සමය හා පාසල් නිවාඩු කාලය තුළ මාර්ග අනතුරු සහ අනෙකුත් ක්‍රියාකාරකම් සම්බන්ධ අනතුරු වැඩිවිය හැකි බවට ද ඔහු අවධාරනය කළේය. පෙර වසරවල දත්ත අනුව නිවාඩු කාලවලදී මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව රියදුරන්, මගීන් සහ පදිකයන් සියලු දෙනාම වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දිගු ගමන් සඳහා පිටත්වීමට පෙර වාහන මාර්ගයට සුදුසුද යන්න නිසි ලෙස පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.

“වාහනයේ තාක්ෂණික තත්ත්වය හොඳින් පරීක්ෂා කරලා, වගකීමෙන් රිය පැදවුවොත්, උත්සව සමයේ සිදුවන අනතුරු ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්,” යනුවෙන් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහජනතාවගේ යහපත් හැසිරීම් සහ අවධානයෙන් කටයුත් කිරීම මඟින් උත්සව සමය ආරක්ෂිතව හා සෞඛ්‍යසම්පන්නව ගත කළ හැකි බව ද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

Related articles

Recent articles

error: Content is protected !!