26.9 C
Galle

“දිට්වා” නිසා අලි-මිනිස් ගැටුම තවත් දරුණු වෙයි ? කලාපයේ වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවෙන්

Published:

දකුණු ආසියාවේ වැඩිම අලි මරණ අනුපාතයක් වාර්තාවන රට ශ්‍රී ලංකාව බව පරිසරවේදීන් පවසන බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති  

ඉන්දියාවේ ඇස්තමේන්තු අනුව එරට අලි ඇතුන් 20,000-27,000ත් අතර ප්‍රමාණයක් සිටින අතර ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු ගත අලි සඛ්‍යාව 6,000-7,000ත් අතර වෙයි.

වනජීවී නිලධාරීන් පවසන්නේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සෑම වසරකම ශ්‍රී ලංකාව තුළ මියයන අලි සංඛ්‍යාව, මෙරට අලි ගහණයට සමානුපාතිකව, කලාපයේ ඉහළම ගන්නා බවයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, 2023 වර්ෂයේ දී අලි මරණ 488ක් සිදුව ඇත. එය මෑත කාලීනව වසරක් තුළ මියගිය වැඩිම අලි සංඛ්‍යාව ලෙස සඳහන් වේ. 2024 වර්ෂයේ දී අලි 386-388ක් මියගොස් ඇති අතර, 2025 දෙසැම්බර් මැද වන විට මේ දක්වා අලි ඇතුන් 397 ක් මියගොස් ඇත.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ මිනිස්-අලි ගැටුම් හේතුවෙනි. වෙඩි තැබීම්, නීති විරෝධී විදුලි වැටවල්, දුම්රිය ගැටීම් සහ ආහාරවල සඟවා තිබූ හක්කපටස් – වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය මගින් අලි ඇතුන් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත. මේ වසරේ සිදු වූ මුළු මරණවලින් අලි ඇතුන් 71 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද අතර, 56 දෙනෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත, 46 දෙනෙකු දුම්රිය අනතුරු වලින් මිය ගිය අතර, 20 දෙනෙකු හක්කපටස් ආහාර සමඟ ගිල දැමීමෙන් මිය ගිය ව වාර්තා වී ඇත. වෙනත් විෂ ශරීරගත වීමෙන් අලි දෙදෙනෙක් මිය ගියහ. පසුගිය සතියේ මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු විසින් ගිනි තබා එක් අලියෙකු මරා දැමීමේ සිද්ධිය බොහෝ දෙනකු කම්පාවට පත්කරන්නට සමත්විය. දියේ ගිලීම සහ අතහැර දැමූ ළිංවලට වැටීම ඇතුළු අනෙකුත් හේතූන් නිසා ද අලි මරණ වාර්තා වී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ විදුලි වැටවලට හානි වීමෙන් තවත් අලි ඇතුන් ගම්මානවලට පැමිණ ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“විදුලි වැට පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නැහැ, සමහර වනජීවී ප්‍රදේශ තවමත් ජලයෙන් යට වෙලා පවතිනවා. තණබිම් මඩ සහිත වන අතර තණකොළ කෑමට නුසුදුසු බැවින් අලි ඇතුන්ට ආහාර ප්‍රමාණවත් නැති ගැටලුවක් තිබෙනවා. මේ නිසා අලි ගම්වැදීමට හැකියාවක් තිබෙනවා. වනජීවී දෙපාර්ත‍මේන්තුව විසින් නඩත්තු කරන කිලෝමීටර් 5,700 ක පමණ විදුලි වැටවල් වලින් කිලෝමීටර් 838 ක් සුළි කුණාටුවෙන් හානියට පත්වෙලා. මේ අතරින් භාගයක් පමණ අපි දැනටමත් අලුත්වැඩියා කර තිබෙනවා.”

වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ගංවතුර තත්වය හෙතුවෙන් අලි පැටවුන් 04 දෙනකු මියගිය බව තහවරු වූ බවයි.  

අලි සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ.එල්.තවුෆික් කියා සිටියේ ගංවතුරට හසු වූ අලි ඇතුන් හය දෙනෙකු බේරාගෙන, එක් අයෙකු මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදා හැර ඇති අතර, ඉතිරි පැටවුන් ගිරිතලේ වනජීවී කාර්යාලයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Related articles

Recent articles

error: Content is protected !!