වසර 21කට පෙර අද වැනි දිනයක සිදු වූ සුනාමියෙන් මියගොස් හඳුනාගත නොහැකිව සහ හඳුනාගත්ත ද පවුල්වල ඥාතීන්ට මිහිදන් කළ නොහැකිව ගොඩගැසී තිබූ පුද්ගල මළ සිරුරු 1500-1800 අතර ප්‍රමාණයක් සමූහයක් ලෙස මිහිදන් කර ඇති ගාල්ල, අක්මීමණ, කුරුදුවත්තේ දී අද (26) සුනාමි සැමරුමක් සිදුකරන ලදී.
අක්මීමණ ප්‍රාදේශීය සභාව විසින් මෙම උත්සවය සවිධානනය කර තිබූ අතර මියගිය අයගේ ඥාතීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී තම ඥාතීන් සිහිපත් කරමින් සුනාමි සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් සිදුකළහ.
රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සුනාමියෙන් මියගොස් ගාල්ල ජාතික රෝහලට ගෙනවිත් තිබූ මළ සිරුරු 1500කට වැඩි ප්‍රමාණයක් ද පසුව ගාල්ල නගරය හා ඒ අවටින් හමු වූ මළ සිරුරු ද ඇතුළත්ව සිරුරු 1800ක් පමණ මෙම ස්ථානයේ මිහිදන් කර තිබේ. ඒ අතරින් නිශ්චිතව හඳුනාගත් මළ සිරුරු ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණි. මිහිදන් කර ඇති සිරුරු අතර විදේශකයන්ගේ මළ සිරුරු කිහිපයක් ද ඇත.



