(මංගලනාත් ලියනාරච්චි විසිනි)
ලිංගික සම්බන්ධතා යනු ජීවියේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ නිසාම මානවයා ඇතුළු සියලු සත්වයෝ උපතින්ම ලිංගික ආකර්ශනයත්, ලිංගික ආශාවත් ඒ ලිංගික ආශාවන් සහ හැඟීම් සංතර්පණය කරගැනීමටත් අවශ්‍ය ආකාරයෙන් පරිනාමය වී සිටිති.
මෙයට ගැහැනු, පිරිමි හෝ වෙනත් ආකාරයක බෙදීමක් නැත. එය සියල්ලන්ට ම පොදු සාධකයකි.
මානවයා පරිනාමයේ දී ලිංගික සම්බන්ධතා තමන් තෝරාගන්නා එක් අයකුට පමණක් සීමා නොවූව ද පසුව ශිෂ්ඨාචාරගත වී ආගමික සංස්කෘතීන්, නීති සම්පාදනය සමඟ ලිංගික සම්බන්ධතාවලට විවිධ කොන්දේසි සහ සීමා මායිම් ඇතිවිය. එසේ වුව ද සියලු සංස්කෘතික සමාජයන් තුළ ලිංගික සේවා සපයා මුදල්, ආහාර පාන හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගැනීම ඉතා දුර අතීතයේ පටන් සිදුවූවකි.
නමුත්, ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් ප්‍රසිද්ධියේ කථා කිරීම හෝ පෙනී සිටීම සදාචාර විරෝධි කටයුත්තක් ලෙස සලකා බොහෝ දෙනකු ඒ පිළිබදව කතා නොකර සිටිති. මුදලට ලිංගික ශ්‍රමය අලෙවිය තව දුරටත්, සදාචාර විරෝධි කටයුත්තක් නොවන බවත්, එය තවත් එක් අවිධිමත් රැකියා අවස්ථාවක් බවත් Stand up Movement Sri Lanka ආයතනයේ අදහස වී ඇත. Stand up Movement Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයකි. මෙරට වෙසෙන ලිංගික ශ්‍රමිකයන්ට අවශ්‍ය සමාජ පිළිගැනීම සහ ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම එම ආයතනයේ අරමුණයි.
ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින්,එම ආයතනය සැකසු “ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව“ එළිදැක්වීම පසුගිය දෙසැම්බර් 14 දින කටුනායක දී සිදුකෙරිණි. අප රටේ ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන ලිංගික ජාවාරම, බලහත්කාරය, වෙනස් කොට සැලකීම, යුක්තියට සේම පොදු සේවාවන්ට ඇති ප්‍රෙව්ශය අහිමි කිරීම, ඔවුන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට එරෙහිවීම කටයුුතු කිරීම මෙම ප්‍රතිපත්ති මාලාවේ එහි මූලික අරමුණයි.
ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට මාධ්‍යවේදීන්, වෘත්තිය සමිති නියෝජිතයන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම දැනට ලිංගික ශ්‍රමය සැපයීමේ නිරත පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි. එහිදී ලිංගික ශ්‍රමිකයන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම හා ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් පිලිගත යුත්තේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන , ශලනි ප්‍රියංවදා මහත්මිය අප සමඟ සාකච්ඡාවට එක්වෙමින් මෙසේ කීවාය.
අපි එම සාකච්ඡාව මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු.
“අද අපි කතා කරන්න යන්නේ, අපේ සමාජයේ බොහෝ විට කතා කරන්න මැලිකමක් දක්වන මාතෘකාවක් සම්බන්දයෙන්. වර්තමාන දියුණු ශ්‍රී ලාංකික සමාජයේ ලිංගික සේවා සපයන්නන් කියා කතා කළාට අතීතයේ එවැනි කාන්තාවන් හැඳින්වූයේ ගණිකාවන් ලෙස. මේ වචන දැන් ශිෂ්ට සමාජය භාවිතයෙන් ඈත් කර තිබෙනවා. මේ ලිංගික සේවා සැපයීම ලෝකයේ දැනට ඇති පැරණිතම වෘත්තීන් අතරින් එකක් ලෙස පිලිගැනෙන අතරම, එය බුදු සමය, කිතුනු සමය දක්වා දිව යනවා. එහෙත්, අදටත් මේ ලිංගික සේවා සැපයීම කෙනෙකුට ඇති වෘත්තිමය අයිතියක් ලෙස පිලිගැණීමට අපේ ශ්‍රී ලාංකීය ජන සමාජය සූදානම් නැහැ. ලිංගික ශ්‍රමය සැපයීම අපගේ සංස්කෘතියට, සදාචාරයට පටහැනි අවිචාරවත් ක්‍රියාවත් ලෙස සමාජය තුල පවතින මතය මෙයට දැඩි සේ බලපා ඇති බව රහසක් නෙවෙයි.
ඉතින් අපි අද දවසේ, ලිංගික සේවා සැපයීමෙන් තම ජීවන වෘත්තියේ යෙදෙන අයගේ අයිතින් පිළිගත යුත්තේ ඇයි ? කියන කාරණය සම්බන්දයෙන් කතා කිරීමට අප සමග එකතු වෙනවා ශලනි ප්‍රියංවදා මහත්මිය. ඇය අපේ සමාජයේ ගැරහීමට ලක්කරන ගණිකාවක් ලෙස හැඳින්වූ නමුත් වර්තමානයේ අපි ලිංගික සේවා සපයන්නියක් ලෙස හඳුන්වන කාන්තාවක්. ඒ වගේම ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ඒ වෙනුවෙන් පෙනී සිටින ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක්.
ප්රශ්නය – මුලින්ම ඔබ මේ වැඩ සටහනට පිළිගන්නා ගමන් ම මේ සදහා අදහස් දැක්වීමට පැකිලීමකින් තොරව, ඉදිරිපත්වීම සම්බන්දයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි කැමතියි ඔබගෙන් අහන්න, ලිංගික සේවා සැපයීමේ වෘත්තියට, එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති ගණිකා වෘත්තියට නීතිමය රැකවරණය අවශ්‍යයි කියලා ඔබ කියන්නේ කුමන පදනමක සිටද? ඇයි අප රටක් සමාජයක් හැටියට මේ වෘත්තිය නීත්‍යානුකූළ බවකින් පිළිගත යුත්තේ ?
පිළිතුර – මේ වැඩසටහනට මා සම්බන්ධ කරගැනීම ගැන බෙහෙවින් ම ස්තූතියි. ඔබ අප සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදි වචනය පාවිච්චි කළා. ඒ ගැන ස්තූතියි. හැමෝම අපිට කියන්නේ ගණිකාවන් කියලා. නමුත් එය නිවැරදි විය යුතුයි. මුලින්ම කියන්න ඕනේ, අපගේ වෘත්තිය ලෝකයේ පැරණිතම වෘත්තීන් අතරින් එකක් ලෙස අදටත් පිලිගැනෙනවා. බොහෝ කාලයකට පෙර, අපව ගණිකාවන්, අභිසරුලියන්, රෑ සමනලියන් ලෙස හැදින්වුවත්, ලෝකය ශිෂ්ඨ සම්පන්න වෙන්න වෙන්න, එවැනි අස්ශීල හැදින්වීම් අහෝසි වෙලා ගිහින් තිබෙනවා. තව දුරටත් එවැනි හැදින්වීම් කරන්නේ නූගත් හා නිසි සමාජ කියවීමක් නොමැති අයවලුන් පමණයි. වර්තමානයේ මෙම වෘත්තිය හදුන්වන්නේ, ලිංගික ශ්‍රමය සපයන්නන් හැටියටයි. ඒ වචනය භාවිතා කිරීම ගැන ඔබට නැවත ස්තූති කරනවා.
මෙම වෘත්තිය මේ රටේ විශාල පිරිසකගේ දිවි පෙවෙත රැකෙන වෘත්තියක්. මුදලට හෝ වෙනත් ප්‍රතිලාභයක් උදෙසා කැමැත්ත මත ලිංගික ශ්‍රමය සැපයීම අයිතියක් මිස, අපරාධයක් නෙවෙයි. ලිංගික ශ්‍රමිකයන්ගේ ජාත්‍යන්තර එකමුතුව ( International Union of Sex Workers ) පසුගිය වසරේ දක්වා ඇති වාර්තාවකට අනුව, ලොව පුරා විසිරී සිටින ලිංගික ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය මිලියන 52 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ මෙම වෘත්තියේ යෙදෙන ප්‍රමාණය කොපමණ ද කියලා නිශ්චිත සංඛ්‍යා ලේඛන නැතත්, විවිධ පර්යේෂණ මගින් හෙලිදරව් වී ඇති අන්දමට ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 35,000 – 40,000 අතර බව හෙලි වී තිබෙනවා. ඊට අමතරව අප්‍රසිද්ධියේ මෙම වෘත්තියේ යෙදෙන ප්‍රමාණය හා පිරිමි ලිංගික ශ්‍රමිකයන් ද ඇතුලත් විය යුතුයි. ඒ අනුව බලන කොට, මෙම වෘත්තියෙන් යැපෙන අති විශාල පිරිසක් අප රට තුල සිටිනවා. යම් කිසිවෙක් විධිමත් හෝ අවධිමත් වෘත්තියක යෙදෙනවා නම්, ඔවුන්ට ඒ සදහා නීතිමය රැකවරණය ලබාදීය යුතුයි. මොකද ලිංගික ශ්‍රමිකයන් සූරාකෑමට හෝ වෙනත් හිරිහැරවලට, නොසලකා හැරීම්වලට යටත් විය යුතු නැහැ.
ප්රශ්නය – මේ රටේ කාන්තාවකට රැකියා අවස්ථා සැලකිය යුතු තරමින් තිබියදී, ඔබ ඇයි මේ රැකියාවටම යොමු වුනේ ?
පිළිතුර – ඇත්තටම මෙය මා තෝරා ගත්තේ, මෙය රැකියාවක් නිසා නෙවෙයිද? මෙය බුදුන් වහන්සේ ඉන්න කාලෙත්, ක්‍රිස්තුස් වහන්සේ ඉන්න කාලෙත් තිබුණු වෘත්තියක්. ඊට පෙරත්, ඊට පසුත් මේ වෘත්තියට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. බුද්ධ සමාජයේ ජීවත් වුන අම්බපාලි කියන පුර අඟනන් ගැන අපි අහලා තියෙනවා. එකල ඔවුන්ට ඒ සදහා හොද සමාජ පිළිගැණීමක් පවා හිමිවී තිබුණ බව අපි පත පොතේ කියවලා තිබෙනවා. ඉතින්, එබදු තත්වයක් තුල ඇයි මම මේ රැකියාව තෝරා ගැනීම සම්බන්දයෙන්, ඔබ ඇතුළු මේ සදාචාරාත්මක සමාජය වද වෙන්නේ.
ශ්‍රී ලංකාව කියන්නේ,සංචාරක පාරාදීසයක්. සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ, අපේ සංස්කෘතික උරුමයන් නරඹන්න ම විතරක් නෙවෙයි. අපේ රටේ තිබෙන ලස්සන මුහුදු වෙරළට, ස්භාවික පරිසරයට, ආගන්තුක සත්කාරවලට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. එහිදී විනෝදාස්වාදය ප්‍රධාන සාධකයක් වෙනවා. අපි ඔවුන්ට ඒ සේවාවන් සැපයිය යුතුමයි. එහෙම නොවුනොත්, ඔවුන් නැවත වරක් අපේ රටට එන්නේ නැහැ. අද වෙන විට තායිලන්තය, මාලදිවයින වගේ රටවල්වල සංචාරක කර්මාන්තය ඉතාමත් ඉහළ මට්ටමක පැවතීමට හේතුව ඒ රටවල්වල මෙම වෘත්තිය සමබන්දයෙන් රජය දක්වන අනුග්‍රහය. අපිට අල්ලපු රට වන ඉන්දියාව පවා ලිංගික ශ්‍රමිකයන් සමබන්දයෙන්, එම වෘත්තිය වෙනුවෙන් සැලකිය යුතු තරමේ අවධානයක් යොමු කර ඇතත්, අපේ රටේ එහෙම තත්වයක් දකින්නට නැහැ. ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් අප රට තුල මැතිවරණ කාලයේ දී යම් කතිකාවක් ඇති වුනත්, එය මැතිවරණ වේදිකාවෙන් ඔබ්බට දිව යන්නේ නැහැ.
ප්රශ්නය – ඔබ ඒ අන්දමින් මෙම වෘත්තිය අගය කලාට, මේ රැකියාව තව දුරටත් අප රට තුළ නීති විරෝධියි නේද ? විටින් විට අපි ජනමාධ්‍ය හරහා දකිනවා මෙම වෘත්තියේ යෙදෙන පිරිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවන් ?
පිළිතුර – ඔව් ඔබ නිවැරැදියි. නමුත්, ඔබ කිසි විටකත් දැකලා තියෙනවද ඒ ලිංගික ශ්‍රමය ලබා ගත් පිරිමියා උසාවියට ගෙන යනවා. ඇයි එහෙම නොවෙන්නේ. බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි, ලිංගික ශ්‍රමය ලබාදීම සම්බන්දයෙන් කටයුතු කිරීමට අප රට තුල කිසිදු නීතිමය පදනමක් නැහැ. පොලිසිය අපව අත්අඩංගුවට අරගන්නේ, පාදඩ ආඥා පනත කියන ඉංග්‍රිසි පාලන සමයේ මෙරටට ගෙන්වු ඉන්දිය වතු කම්කරුවන් සේවා ස්ථානයෙන් පැනයාම වැළැක්වීමට සැකසු නීතියක් උපයෝගි කර ගෙනයි. එයට වැරදි කරුවෙන අයට නියම වෙන්නේ, ඉතාමත් සුළු දඩයක්. මේ නිසා පොලිසිය බොහෝ විට ගොරකා දඩ මස් කරනවා.
පාදඩ ආඥා පනත යටතේ කියලා අපව අත්අඩංගුවට අරගෙන, අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මත් ද්‍රව්‍ය ලඟතබා ගැනීම හෝ මත්දව්‍ය ජාවාරමේ යෙදුනු බව කියන බොරු චෝදනාවක් මත. ඒ සදහා ඔවුන් ගංජා අබිං විෂ මත් ද්‍රව්‍ය පනත වගේ දේවල් කිසිදු හිරිකිතයක් නොමැතිව යොදා ගන්නවා. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කිරීම නීතිගත කර හෝ එම රැකියාව බාධාවකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය නීතිමය පදනම සකස් කර දී තිබෙන බව රහසක් නෙවෙයි.
අපේ රටට වඩා බෞද්ධයන් ප්‍රමාණයක් ඉන්න තායිලන්තයේ පවා මෙම වෘත්තිය නීතිගත කර තිබෙනවා. ඒ මගින් ඔවුන් එම රටට වාර්ෂිකව ඩොලර් බිලියන 6.4ක විදේශ විනිමයක් උපයා දෙන බව සදහන් වෙනවා. අපේ රටට අල්ලපු රට ඉන්දියාව පවා මෙම වෘත්තිය සදහා යම් යම් නීතිමය තත්වයන් සකසා දී තිබියදීත්, අපේ රටේ ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් පොලිසිය කටයුතු කරන ආකාරය ඉතාමත් ලැජ්ජා සහගතයි.
ඒ වගේම ජනමාධ්‍ය ගැනත් යම් කාරණයක් මෙහි දී සදහන් කල යුතුයි. බොහෝ විට ලිංගික ශ්‍රමිකයන් ජනමාධ්‍ය මගින් හදුන්වන ආකාරය සම්බන්දයෙන් මෙන්ම ඔවුන් ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් ඒක පාර්ශවික ප්‍රවෘත්ති පල කිරීම් සම්බන්දයෙන්ද අප තුල ඇත්තේ දැඩි විරෝධයක් බව පෙන්වා කිව යුතුයි.බොහෝ විට ලිංගික ශ්‍රමිකයෙකු හෝ පිරිසක් අත්අඩංගුවකට ගැනීමකදී, පොලිසිය ජනමාධ්‍ය ගෙනවිත්, ඒ සදහා විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා.
මේ වන විට ඇතැම් මාධ්‍ය ආයතන පොලිසියේ එවැනි මෝඩ චූන් වැඩ ප්‍රතික්ෂේප කලත්, තවමත් එවැනි දේවල් මාධ්‍යන්හි ප්‍රසිද්ධ කර තම රැකියාව කරන මාධ්‍යවේදින්ද සිටින බව අකමැත්තෙන් හෝ මේ අවස්ථාවේ සදහන් කල යුතුයි. හැබැයි, පොලිසියේ දී එහෙමත් නැත්නම්, මාධ්‍ය මගින් ලිංගික ශ්‍රමිකයන්ට ඒ අන්දමින් වෙනස් කොට සලකන අය, ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන අවස්ථා අපමණයි.
එක් අවස්ථාවකදී යුදෙව් නීතිය යටතේ, ලිංගික සේවා සැපයූ කාන්තාවක්ට ගල් ගහලා මරන්න නියම වෙද්දී, යේසුස් වහන්සේ කියනවා වැරැද්දක් නොකරපු අයෙක් සිටී නම්, පළමු ගල ඔහු ගසන්න කියලා. එතකොට සියළු දෙනාගේ අතේ තිබ්බ ගල් බිම වැටෙනවා. ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් මෙවැනි අනීතිකව කටයුතු කරන බොහෝ පොලිස් නිළධාරීන් මෙන්ම, මාධ්‍යවේදිනුත් අපගේ සේවාවන් ලබා ගත් අයවලුන් නොවේ කියලා කිසිවෙකුටත් කියන්න බැහැ.
පොලිසිය අපිට පාදඩ ආඥා නීතිය යටතේ කියලා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ, මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් නඩුවක් පටලවලා .මාධ්‍යවේදිනුත් පොලිසිය කියන තොරතුර මත පදනම් වී, එය මාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා. පොලිසිය කියන දෙය ම කිසිදු හිරිකිතයක් නොපෙන්වා තලු මර මරා පත්තරේ ලියන මාධ්‍යවේදීන් තව දුරටත් අපේ සමාජයට අවශ්‍යද කියන කාරණය මෙහි දී ඉස්මතු වෙනවා. මේ නිසා ලිංගික ශ්‍රමිකයන් හැටියට අපි ජනමාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් තිබෙනවා. ඒ තමා ලිංගික ශ්‍රමිකයන්ද, මනුස්සයෝය කියන කාරණය පදනම් කර ගනිමින් ජනමාධ්‍ය හසුරුවන්න.
ඒ වගේම ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් ප්‍රවෘත්ති පල කරද්දී, වීදි ගණිකාවන්, රෑ සමනලියන්, අභිසරුලියන්, නපූන්සකයන් කියන අශිෂ්ඨ වචන භාවිතා කිරීම නොකර, ඒ සදහා වෘත්තිමය වචන භාවිතා කරමින් නියම වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමට යොමු වෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් “කිසිම තැනැත්තෙකු වද හිංසාවලට හෝ කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලට හෝ දඬුවමකට යටත් නොකල යුත්තේය” යන්න තහවුරු කර තිබෙනවා. ලිංගික ශ්‍රමිකයන් සම්බන්දයෙන් ද ඒ නීතිය එසේම විය යුතුයි.
ප්රශ්නය – අවසාන වශයෙන් ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ඔබට මේ සමාජයට කියන්න තියෙන්නේ කුමක්ද ? එහෙමත් නැත්නම් මේ සමාජයෙන් කළයුතු ඉල්ලීම කුමක්ද?
පිලිතුර – ඇත්තටම මට පළමු වරට මෙන්ම අවසාන වරටත් කිව යුත්තේ, ලිංගික ශ්‍රමිකයන්ද මනුශ්‍යයෝය කියන කාරණය පදනම් කර ගනිමින් කටයුතු කරන්න. මෙය අවධිමත් වුවත්, මේ රටේ තවත් එක් වෘත්තියක්. මේ මගින් අප රටේ විශාල පිරිසකගේ දිවි රැකෙන වගේම අප රටට විදේශ විනිමය පවා උපද්දවන රැකියාවක්. එයට අවශ්‍ය නීතිමය පදනම හා රැකවරණය සැකසීමට සහය වෙන්න. අපි දෙස මහා විශාල අපරාධකරුවන් විදියට හෝ පිළිකුල් සහගත ලෙස බලන්න එපා. අපව අවමානයට ලක් කරන්නත්, අපිට වෙනස් කොට සලකන්නවත් එපා. ලිංගික ශ්‍රමය සඳහා බල පවත්නා වු නීතිමය පදනමක් සැකසීම තුලින්, මේ ක්ෂේත්‍රය තුළ සිදුවන අවධිමත් ක්‍රියා පාලනය කල හැකියි. ඒ මගින් මෙම ක්ෂේත්‍රය සම්බන්දව තිබෙන වැරදි ආකල්ප සහ මතිමතාන්තරවලට තිත තැබිය හැකියි. ඒ සදහා මාධ්‍යවේදීන් ලෙස ඔබට විශාල කාර්යභාරයක් සිදු කල හැකි බව අපගේ විශ්වාසයයි.
(ලිංගික ශ්‍රමික කාන්තාවගේ නම ඇගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් වෙනස් කර ඇත)
(විශේෂ ස්තුතිය – Stand up Workers union හි ප්‍රධාන ලේකම් අශිලා දන්දෙණිය මහත්මිය)


