ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් දෙවැනි වර ඡන්ද විමසීමේ දී එය සම්මත වූ බවට අනීතික ලෙස ලේඛන ගත කිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අද (26) සවස දකුණු පළාතේ පළාත් පාලන සහකාර කොමසාරිස් මංජුල ප්‍රියන්ත පෙරේරා ට පෙත්සමක් භාර දෙන ලදී.
එම කණ්ඩායම පවසන්නේ අයවැයට විපක්ෂයි යනුවෙන් තම කණ්ඩායමේ සියලු දෙනා පැහැදිළිව කියා සිටිය දී ඉන් හතර දෙනකු පක්ෂයැයි කී බවට සළකුණු කරමින් ගාල්ල මහ නගර සභාවේ ලේකම්වරිය නීති විරෝධී ලෙස කටයුතු කර ඇති බවයි. මෙම පෙත්සම සමඟ විපක්ෂයේ නියෝජිතයන් 19 දෙනා ම තමන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන් දිවුරුම් ප්‍රකාශ 19ක් ද පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත බාරදුන්හ.
මෙයට අමතරව ගාල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසන්ත කරුණාරත්න ද තමන් විපක්ෂයි කියුවත් ලේකම්වරිය පක්ෂයි යනුවෙන් සටහන් කර අයවැය සම්මත කිරිමට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇතැයි පවසමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
ගාල්ල මහ නගර සභාවේ අයවැය පිළිබඳ පළමු වරට ඡන්ද විමසිම දෙසැම්බර් 15 වැනි දා පවත්වන ලද අතර එහිදි වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය. පසුව දෙවැනි වරටට පසුගිය 24 වැනි දා ඡන්ද විමසීම පවත්වන ලදී. එහිදි නගරාධිපතිවරයා සභාවට දැනුම් දුන්නේ අයවැයට පක්ෂව ඡන්ද 21ක්ද විපක්ෂව ඡන්ද 15ක් ලැබි ඇති බවයි. ඒ අනුව අයවැය සම්මත වු බව පැවසිමත් සමග විපක්ෂයේ නියෝජිතවරු සභාව තුල කලබලකාරි ලෙස හැසිරෙන්නට විමත් සමග පොලිසිය කැඳවිමට ද සිදුවිය.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සභා ලේකම්වරිය බලෙන් යළි සභාගැබට කැඳවාගෙන පැමිණ යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත වැඩ බලන නගරාධිපති ලෙස පත්කර ගෙන නැවත ඡන්ද විමසිම පවත්වන ලදි. එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර පක්ෂව එකම ඡන්දයක්වත් ලැබුනේ නැත.
ඒ අනුව ලේකම්වරිය දූෂණයක් සිදුකර ඇති බව පවසා විපක්ෂ නියෝජිතවරු පිරිස දිව්රුම් ප්‍රකාශ සමග මෙම පෙත්සම භාරදුන්හ.


