හෙළ ගීත කලාවේ “ගීත කෝකිලාවිය” ලෙස විරුදාවලි ලැබූ, කලාශූරී ලතා වල්පොල අද (27) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 92 වන වියේ පසුවුණි.
1934 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ උපත ලැබූ ලතා වල්පොල මහත්මිය, ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ අමරණීය නාමයක් ලෙස තම සුවිශේෂී ස්ථානය සනිටුහන් කළ කලාශූරියකි. ඇය ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1946 වසරේදී එවක රේඩියෝ සිලෝන් මඟින් සිය පළමු ගායනය ඉදිරිපත් කරමින්, වයස අවුරුදු 12ක කුඩා දැරියක් ලෙසය.
ගෙවුණු දශක කිහිපය තුළ ලතා වල්පොල මහත්මිය ගීත දස දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර, ඒ අතර විවිධ විදෙස් භාෂාවල ගීතද ඇතුළත් වේ. ඇගේ සුවිශේෂී හඬ, සංගීත රසිකයන්ගේ සිත් සදාකාලිකව සනසා තිබේ.
1953 වසරේ “එදා රෑ” චිත්‍රපටය හරහා සිනමා පසුබිම් ගායනයට එක්වූ ඇය, ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ සදාකාලික “ගී රාජිනිය” ලෙසද විරුදාවලි ලබාගි. ඇය විසින් චිත්‍රපටි 600කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායන දායකත්වය ලබා දී තිබේ.
ලතා වල්පොල මහත්මියගේ අභාවය ශ්‍රී ලංකා සංගීත හා සිනමා ක්ෂේත්‍රයට පිරිය නොහැකි පාඩුවක් වන අතර, ඇයගේ සුවිශේෂී කලා උරුමය පරපුරෙන් පරපුරට දිගහැර යනු ඇත.


