ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ඉරිදා (28) රාත්‍රියේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු තුවාල ලැබ ඇතැයි එරට බලධාරීහු පවසති. උතුරු සුලවෙසී පළාතේ මනාඩෝ නගරයේ පිහිටි වයෝවෘද්ධයන් සඳහා වූ “දමයි” විශ්‍රාම ශාලාවේ මෙම ගින්න හටගෙන ඇත.
රාත්‍රී 8.30ට පමණ (ස්ථානීය වේලාවෙන්) ගින්න පිළිබඳව ගිනි නිවන දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති අතර, පැයකට ආසන්න කාලයකට පසු ගින්න පාලනය කිරීමට හැකි වූ බව සඳහන් වේ. මනාඩෝ නගරයේ ගිනි හා ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රධානී ජිමී රොටින්සුලු මහතා පවසන්නේ, බොහෝ මියගිය පුද්ගලයින් රාත්‍රී විවේකයට කාමරවල සිටියදී ගින්න පැතිර යාමෙන් එහිම සිරවී මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනාගේ ශරීර හඳුනාගැනීමට අපහසු තත්ත්වයක පවතින බවත්, ඒ හේතුවෙන් පවුල් සාමාජිකයන් රෝහල වෙත පැමිණ හඳුනාගැනීම් සිදු කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටී. ගින්නට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.
විශ්‍රාම නිවාසයට ආසන්නව ජීවත් වන ස්ටීවන් මොකොඩොම්පිට් මහතා පවසන්නේ, තමන් එම ස්ථානයට පැමිණි විට ගින්න කුස්සියෙන් ආරම්භ වී තිබූ බවයි. “මිනිත්තු පහක් ඇතුළත මුළු ගොඩනැගිල්ලම ගින්නෙන් වටවුණා. ඒ අතරතුර පිපිරීමක් සහ උදව් ඉල්ලන හඬ අපිට ඇහුණා,” යනුවෙන් ඔහු දේශීය මාධ්‍යවලට පවසා ඇත. ඔහු සහ තවත් කිහිප දෙනෙකු මේස හා ඉණිමඟ භාවිත කර පසුපසින් සිටි අය ආරක්ෂිතව පිටතට ගෙන ඒමට උත්සාහ කළ බවත් සඳහන් වේ.
ඉන්දුනීසියාවේ මෙවැනි මාරාන්තික ගිනි අනතුරු අතිශය සාමාන්‍ය වන අතර, මෙම මාසයේ මුලදී ජකාර්තා නගරයේ මහල් හතක කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබුණි.


