30.5 C
Galle

ජාතික රෝහලක් කෝලම් මඩුවක් වූ හැටි. නලා, ලොතරැයි කූඩු එපා කියා DJ ගහන රෝහල

Published:

ගාල්ල ජාතික රෝහල රාත්‍රී කාලයේ සංගීත වැඩසටහන් පවත්වන ස්ථානයක් බවට පත්ව ඇතැයි එහි නේවාසිකව සිටින රෝගීන් සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ඊයේ (29) රාත්‍රියේ ගාල්ල ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සදායක් ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ වකුගඩු ඒකකයට යාබදව පැවැති අතර එහි ශබ්දය විකාශය කළ බෆල් යන්ත්‍ර රෝහල දෙසට හරවා තිබිණි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම ශබ්දය ලබුදූව, තලගහ, අම්බලන්වත්ත, හිරිඹුර, බෙලිගහ ආදී ප්‍රදේශවලට කිලෝ මීටර ගණනක් දුරට ඇසුණු බවයි.

මීට දින කිහිපයකට පෙර ගාල්ල ජාතික රෝහලේ හෙද හෙදියන්ගේ වර්ණ ප්‍රධාන රාත්‍රී සාදයක් ද පැවැති අතර එහි දී ද ඝෝෂාකාරී සංගීතයක් ඔවුන්ගේ නිල නිවස්න පරිශ්‍රයේ පැවැත්විණි. ඒ ආසන්නයේ ම හෘද සැත්කම්වලට ලක්වන රෝගීන්ගේ වාට්ටු පිහිටා ඇති බව රෝගීන් පවසයි.

මෙලෙස ඝෝෂාකාරී සංගීතය සහිත වැඩසටහන් දෙකම රාත්‍රී කාලයේ පැවැති අතර ඊයේ පැවැති සංගීත වැඩසහන අද (30) අලුයම දක්වාම අවසන් වූයේ නැත. රෝගීන් නේවාසිකව සිටින රෝහල් පරිශ්‍රය ඇතුළත මේ සංගීත වැඩසටහන ආරම්භ කළේ ද රෝගීන් බයෙන් බිරාන්ත කරමින් මල්වෙඩි පවා පුපුරවමින් බව රෝගීහුම චෝදනා කරති.

මේ පිළිබඳ විමසීමට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග සභාපතිගේ සම්බන්ධ කරගැනීමට අප උත්සාහ ගත්ත ද ඔහු අපගේ ඇමතුම් සමඟ සම්බන්ධ වූයේ නැත.

ඊයේ (29) ගාල්ල ජාතික සංගීත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද්දේ එහි අධ්‍යක්ෂවරයාගේ සහ පරිපාලන නිලධාරීවරයාගේ පූර්ණ අනුමැතිය සහ අනුග්‍රාහකත්වය ද සහිතව බව එම වැඩසටහන සංවිධානය කළ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයකු අප වෙබ් අඩවියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේය.

නමුත්, මීට වසර කිහිපයකට පෙර ගාල්ල ජාතික රෝහලේ එවකට ගාල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යවන ලද ලිපියක පිටපතක් අප සතුව ඇත.

එම ලිපියේ පැහැදිළිව දක්වා ඇත්තේ කරාපිටිය රෝහල අසළ වාහන තුළින් අධික නලා සහ දුම් බටයෙන් පිටවන අධික ශබ්දය නිසා රෝගීන්ගේ සත්කාරක සේවා කටයතුවලට බාධා ඇතිවන බවයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන වසර 05ක් පුරා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගෙන් ද ඉල්ලා ඇති බව එම ලිපියේ සඳහන් කර ඇත.

එමෙන්ම එහි ඇති වැදගත්ම කරුණක් වන්නේ මෙම නලා ශබ්ද සහ දුම් බටයෙන් පිටවන ශබ්දය රෝගී සත්කාරක සේවාවලට බාධාවක් බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ද අවධාරණය කළ බවයි.

එමෙන් ම මෙම ලේඛකයා එවකට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකළ අතර, එවැනි රැස්වීම්වල දී එවකට රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල ඉදිරිපිට ඇති ලොතරැයි කූඩුවල ශබ්දය රෝගීන්ට බාධාවක් යැයි කියමින් ඒවා ඉවත්කර දෙන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ඉල්ලා සිටි බව ද මතකයේ ඇත. එකළ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූයේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර පසුව රෝහල් අධ්‍යක්ෂවරයා වූ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ය අප මාධ්‍යවේදීන් ලෙස ඔහුගේ එම සටන ජයගත් ආකාරය ද එදා වර්තා කළෙමු. එකළ රෝගීන්ට ශබ්දය කරදරයක් යැයි කියා රෝහල ඉදිරිපිට ලොතරැයි කූඩු ඉවත්කළ ගාල්ල ජාතික රෝහල අද රෝහල ඇතුළත පළාතම දෙවනත් කරන සංගීත සාජ්ජ පවත්වන කෝලම් මඩුවක් බවට පත්ව ඇත්තේ කාලයාගේ ඇවෑමෙනි.

ගාල්ල ජාතික රෝහලේ සේවකයකු ලෙස සේවය කරන අප හොඳින් දන්නා හඳුනන අයකු අද (30) උදෑසන අප වෙබ් අඩවියේ අංකයට කතා කළේය. ඔහු එම ඇමතුම ගන්නා අවස්ථාව වන විට ඔහු වීඩියෝව දැක තිබුණේ නැත. ඔහු විමසා සිටියේ වීඩියෝ දර්ශන එව්වේ කවුද මේ විස්තර කිව්වේ කවුද යනුවෙනි. එමෙන් ම අප මෙවැනි දෙයක් නොකරනු ඇතැයි ඔහු විශ්වාස කරන බව ද කියූ හෙතෙම තවත් දෙයක් කීවේය. ඒ රෝහල් පරිශ්‍රයකට ඇතුළු වෙලා අනවසරයෙන් වීඩියෝ කිරීමට අපිට ඇති අයිතිය කුමක් දැයි ඔහු අපෙන් ප්‍රශ්න කළේය.

එවිට අපි ඔහුට පොදු ස්ථානයක සිදුවන ඕනෑම දෙයක් පූර්ව අවසරයකින් තොරව මහජන සුබ සිද්ධිය සඳහා පටිගත කිරීමේ අයිතිය සහ ඒවා ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය ඇති බව කී අතර තොරතුරු ලබාදුන් අය ගැන හෙළිදරව් කිරීමක් නොකරන බව ද පටිගත කිරීම අප විසින් ම සිදුකළ බව කී විට නිහඬ වූයේ ය.

නැවත ඔහු අපගේ පුද්ගලික අංකයට කතා කළේය.

එවිට ඔහුගේ දේශපාලන සම්බන්ධතා රැසක් සහ තවත් හිතවත් කම් කියා ඔවුන් පොහොය, නිවාඩු, දිවා රාත්‍රී නොලබා වැඩ කරන ආකාරයත් කීවේය. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ අයට ආධාර ලොරි තුනක් රැගෙන ගිය බවත් කීවේය.

එවිට අපි මෙසේ කීවෙමු.

“ශබ්දය සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියක් තියෙනවා. ඒක දන්න කෙනෙක් ඕක කරන්නේ නෑ.”

“අපි සංගීතය ගැහුවේ අපේ රෝහලේ. ඒක අපේ තැනක්. අපි අධ්‍යක්ෂතුමාගෙන් අවසර ගත්තා. ඔයාට ඒක වැඩක් නෑ”

“අවසර අරගෙනවත් ඕක කරන්න බෑ. ඒක අපරාධ වරදක්. පිටත පරිශ්‍රයට ඇහෙන්න ශබ්ද දාන්න බෑ. රෝගීන්ට කරදර වෙන්න ශබ්ද කරන්න බෑ.”

“අපි පාරට හරවලා බෆල් දැම්මේ හොස්පිට්ල් එකට දැම්මේ නෑ.”

“ඔයාලා කරපු වැරැද්දේ වීඩියෝ සාක්ෂි අපි ගාව තියෙනවා.”

එවිට තවත් අයකු ඔහුගේ දුරකථනය හා සම්බන්ධ විය. ඔහු අපට තර්ජනාත්මකව මෙසේ කීවේය.

“හරි ඔහොම කරන්නකෝ. අපි හිතුවේ නෑ මේ විදියට අපිට කරාවි කියලා. හැබැයි මතක තියාගන්න අපේ සංවිධානයේ 1100කට වඩා ඉන්නවා. කරල බලමුකෝ.” කියා ඔහු දුරකථනය විසන්ධි කළේය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ශබ්ද දූෂණය යනු අපරාධමය වරදකි. පොලිස් නිලධාරියකුට පැමිණිල්ලක් නොමැතිව ශබ්ද දූෂණයක් සිදුවන අවස්ථාවක දී එයට අදාළ උපකරණ සහ එය සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ඇත.

යම් ස්ථානයක ශබ්දය විසුරුවා හැරීමක් (සංගීතයක්, රැස්වීමක් හෝ ශබ්දය වැඩිදියුණු කරන ඇම්ප්ලිෆයර් සහ විකාශනය කරන උපකරණ භාවිතා කරන ඕනෑම ශබ්දයක්) සිදුකරන්නේ නම් ඒ සඳහා පොලිසියෙන් බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේ බලපත්‍රයක් නොමැතිව ශබ්දය විකාශය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

මෙම බලපත්‍රයේ සඳහන් කර ඇති කොන්දේසි අතර e. වගන්තියේ දැක්වෙන්නේ එම බලපත්‍රය කිසිදු පොදු ස්ථානයකට ලබාදිය නොහැකි බවයි. ඒ අනුව ගාල්ල ජාතික රෝහල යනු පොදු ස්ථානයකි. එවැනි ස්ථානයකට ශබ්දය විසුරුවා හැරීම සඳහා බලපත්‍රයක් ලබාදීමට පොලිසියට පවා හැකියාවක් නැත.

බලපත්‍රයක් ලබාගත් ස්ථානයක ශබ්දය විසුරුවා හැරීමක් සිදුකරන්නේ නම් එම ශබ්දය විසුරුවාහරින බෆල්, හෝන් හෝ වෙනත් උපකරණ අංශක 45ක ආනතියකින් පොළොව දෙසට යොමු වී තිබිය යුතුය. (එය එසේ සවිකර තිබුණේ නැත.) එමෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණයේ 38/2005 සහ පොලිස්පතිවරයාගේ 2007/2031 චක්‍රලේඛය අනුව මෙම නීති සැකසී ඇත.

එම චක්‍රලේඛය අනුව සතියේ දිනයක රාත්‍රී 10.00න් පසු කිසිම ආකාරයක ශබ්දයක් තම පරිශ්‍රයෙන් පිටතට විසුරුවා හැරීමට කිසිවකුට හැකියාවක් නොමැති අතර එසේ කරන්නේ නම් එය බරපතල දඬුවම් ලැබිය යුතු අපරාධමය වරදකි.

පොලිස් ආඥා පනත අනුව ශබ්ද දූෂණය යනු බරපතල වරදක් වන අතර එයට දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) 261 වගන්තිය අනුව දඩයක් හෝ සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම හිමිවිය හැකියි.

රෝහලක් යනු නිශ්ශබ්දතාව තිබිය යුතු පරිසරයක් බව දියුණු සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත. අධික ශබ්දය රෝගීන්ගේ යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යයට දැඩි බලපෑමක් සිදුකරන බව වෛද්‍ය විශේෂඥයෝ කියති. එය රෝගීන්ට අහිතකර බැවින් සහ වෛද්‍ය ප්‍රතිකාරවලට ද බාධාවක් වන බැවින්,  ගාල්ල ජාතික රෝහලේ ද වාට්ටු තුළ පවා ජංගම දුරකථන නාද වීම, උස් හඬින් කතා කිරීම නිරන්තර සීමාවන්ට ලක්කරයි.

නමුත් මෙහි දී ඒ සියලු ශබ්දයක් ඉක්මවා යන ආකාරයෙන් කිලෝ මීටර ගණනක් දුරට ඇසෙන ශබ්දයක් උත්පාදනය කර තිබේ.

රෝහලක් යනු රෝගීන්ගේ ජීවිත සහ යහපත් සෞඛ්‍ය පැවැත්ම ප්‍රමුඛ වන සංවේදී කලාපයක් (Sensitive Zone) ලෙස පිළිගැනේ. පුද්ගලයකුට සුවදායක නින්ද සහ නිශ්ශබ්ද පරිසරය එහි අත්‍යාවශ්‍ය සාධකයකි. රෝහලක් යනු රාජ්‍ය භූමියක් වන අතර එය පොදු ස්ථානයකි. එවැනි ස්ථානයක අත්‍යාවශ්‍ය සේවාව වන්නේ සෞඛ්‍ය සේවා සැපයීම මිස සංගීතය සැපයීම නොවේ.  ඒ අනුව යහපත් සෞඛ්‍යයට බාධ වන මල්වෙඩි සංදර්ශන පැවැත්වීම, සංගීතය විසුරුවා හැරීම ආදිය නීති විරෝධී ක්‍රියාවන් ය. මෙය Public Nuisance ලෙස සැළකේ.

රෝහල් සේවකයන් වැඩකරන වේලාවේ දී හෝ සේවයේ යෙදී සිටින අවස්ථාවේ දී රාජ්‍ය දේපළ භාවිතා කරමින් අනිත් අයට බාධවන ක්‍රියාකාරකම් කළහොත් එය විනයාත්මක වරදක් බව Disciplinary Offence දක්වා ඇත. මෙම සංගීත වැඩසටහන පැවැත් වූ ස්ථානයේ ඇතැම් කණිෂ්ඨ සේවක සේවිකාවන් නිල ඇඳුමේන සැරසී සිටින ආකාරය අපගේ රූපරාමුවල පැහැදිළිව දක්වා ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔවුන්ට එරෙහිව විනයානුකූළ ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් පහසු කටයුත්තකි.

එහි දී ලබාදිය හැකි දඬුවම් අතර සේවය අත්හිටුවීම, වැටුප් අත්හිටුවීම හෝ අඩු කිරීම, දඬුවම් මාරුවක් ලබාදීම, අවවාදාත්මක ලිපියක් නිකුත් කිරීඹ හෝ සේවයෙන් ඉවත්කිරීම යන ඕනෑම පියවරක් ගැනීමට හැකියාව පවතී,

රෝගියකුට නිස්කලංකා නිහඬ පරිසරයක ප්‍රතිකාර ලැබීමේ අයිතිය, නිදහසේ විවේක ගැනීමේ අයිතිය තහවරු කර ඇත. එයට බාධා කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයකි.

මෙම සංගීත සංදර්ශනය පවත්වන ලද්දේ ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ බිත්තියට යාබදව ඇති එළිමහන් භූමියේය. රාත්‍රී එම ස්ථානයේ ම මහ හඬින් මල්වෙඩි පිපිරවූ අතර වකුගඩු ඒකකයේ සැත්කම්වලට ලක් වූ රෝගීන් දැඩි අපහසුතාවලට ලක්ව සිටි බව අපට වාර්තා විය. එමෙන්ම එම ඒකකයේ රාත්‍රී කාලයේ රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලිය පවා සිදුවන අතර එම රෝගීන් ද මේ දැඩි ශබ්දයෙන් භීතියට පත්ව තිබිණි.

ඕනෑම පොදු ස්ථානයක නිසි බලපත්‍රයක් ගෙන අවසරයකින් තොරව සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග අනුව පොලිස්පතිවරයා විසින් සකස්කර ඇති චක්‍රලේඛයේ සඳහන් නිර්ණායක උල්ලංඝනය කරමින් යම් සංගීත වැඩසටහනක්, රැස්වීමක් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ශබ්දය උත්පාදනය කරන ඇම්ප්ලිෆයර් උපකරණයක්, ශබ්දය වැඩි දියුණු කරන උපකරණයක්, ලව්ඩ්ස්පීකර්, බෆල් හෝ වෙනත් ශබ්ද විකාශන ඕනෑම උපකරණයකින් ශබ්දය විසුරුවා හරින්නේ නම් එය සංඥය වරදක් ලෙස සළකා අදාළ පුද්ගලයන් සහ උපකරණ අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළ යුතුය.

මෙසේ නොකර සිටීම පොලිසිය රාජකාරී පැහැර හැරීමකි.

Related articles

Recent articles

error: Content is protected !!