“අපේ ඡන්දෙ හොර කාපු නගරාධිපති අපට එපා, අපේ ඡන්දේ හොරා කාපු ලේකම් අපට එපා” වැනි සටන් පාඨ කියමින් ඒකාබද්ධ විපක්ෂයේ සභිකයන් ගාල්ල මහ නගර සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා එල්ල කිරීම හේතුවෙන් අද (29) පැවැත්වූ විශේෂ සභා රැස්වීම කල් තැබීමට නගරාධිපති සුනිල් ගමගේට සිදුවිය.
නගරාධපතිවරයා අසුන් ගැනීමත් සමඟ නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ සභිකයන් මෙලෙස සිය විරෝධය දක්වන්නට වූයේ පසුගිය දා 2026 අයවැය ලේඛනය සඳහා දෙවැනි වර ඡන්ද විමසන අවස්ථාවේ දී එයට විපක්ෂයැයි කී සභිකයන් 04 දෙනකු අයවැයට පක්ෂ යැයි කී ලෙස ලේකම්වරිය විසින් ලකුණු කර ඡන්දය කොල්ල කන ලදැයි චෝදනා කරමිනි.
විරෝධය දැක්වූ සභිකයන් නගරාධිපති අසුන ළඟට පැමිණ විරෝධය දක්වන්නට වූ බැවින් නගරාධිපතිවරයා සභාවට පොලිසිය කැඳවීමට ද උපදෙස් දුන්නේය. ඒ වනවිටත් සභාවෙන් පිටත රැඳී සිටි පොලිස් කණ්ඩායමක් සභා ගර්භයට පැමිණීමත් සමඟ ලේකම්වරිය අසළට ගිය සභිකයෝ සිය අත තිබූ ජල බෝතල් විවෘත කර ලේකම්වරියට ජල ප්‍රහාරයක් ද එල්ල කළහ.
මෙම තත්වය පාලනය කරගැනීමට නොහැකි වූ බැවින් නගරාධිපති සුනිල් ගමගේ නගර සභාවේ රැස්වීමේ කටයුතු පැය භාගයකට කල් තබා කාරක සභා අවස්ථාවක් බවට පත්කරන බව දන්වා සභා ගැබෙන් ඉවත්ව ගියේය.


