30.5 C
Galle

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

Published:

ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නාගරික මන්ත්‍රීවරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට අයත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක් සහ සමගි ජන බලවේගයට අයත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ (30) දින නගරාධිපතිවරයා විසින් කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීම ආරම්භ කිරීමත් සමඟ, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණ.

මෙම විරෝධය ඇතිවී තිබෙන්නේ, ඉකුත්දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බව සඳහන් වේ.

නගරාධිපතිවරයා න්‍යාය පත්‍රයට අනුව සභා කටයුතු ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගෙන ගිය අතර, කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ලේකම් මණ්ඩලය රැඳී සිටි ස්ථානය වෙත වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම අපහසු වීම හේතුවෙන් නගරාධිපතිවරයා විසින් සභාව විනාඩි 30කට කල්තැබීමට තීරණය කර ඇති අතර, එම කාලය තුළද විපක්ෂ නාගරික මන්ත්‍රීවරු කෑ ගසමින් සහ නොසන්සුන් ලෙස හැසිරෙමින් විරෝධය පළ කර ඇති බව සඳහන් වේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, මහ නගර සභා රැස්වීම්වල ආරක්ෂාව සහ විනය සම්බන්ධයෙන්ද නව අවධානයක් යොමු විය යුතු බව මේ සම්බන්දව අදහස් දක්වන නීති විශේෂඥයෝ පෙන්වා දෙති.

Related articles

Recent articles

error: Content is protected !!