ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේදී නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (31) අධිකරණයට ඉදිරිපත් කළ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් ඇතුළු පස්දෙනා අද සවස, රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඊයේ (30) පැවති ගාල්ල මහ නගර සභා සභාවාරයේදී, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් රැඳී සිටි පෙදෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විසින් සාපරාධී බලහත්කාරය පෑම සහ රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ජිලිත් නිශාන්ත (එක්සත් ජාතික පක්ෂය), නිමාලි චම්පිකා (පොදුජන එක්සත් පෙරමුණ), ප්‍රභාත් සෙනවිරත්න (සමගි ජන බලවේගය), එම්.එම්.එම්. යෙසීර් (එක්සත් ජාතික පක්ෂය), කපිල කොහොඹන් (එක්සත් ජාතික පක්ෂය) යන ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දහවල් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා විසින් ඔවුන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා, ඇප කොන්දේසි කිසිදු ලෙසකින් කඩ නොකරන ලෙස සැකකාර නාගරික මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කළ අතර නඩුව නැවත කැඳවීමට නියම කර ඇති ජනවාරි 26 දිනට අධිකරණයේ පෙනී සිටින ලෙසය ද දැනුම් දී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.


