වසර 11කට අධික කාලයක් ගතවුවද තවමත් අභිරහසක්ව පවතින අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH370 ගුවන් යානය සොයා නැවත වරක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව මැලේසියානු රජය ප්‍රකාශ කළේය. නව මෙහෙයුමක් සඳහා නෞකාවක් මුහුදට යොමු කර ඇති අතර, මේ හරහා වසර ගණනාවක් තිස්සේ බලා සිටින මගීන්ගේ පවුල්වලට පිළිතුරු ලැබේද යන්න පිළිබඳව බලාපොරොත්තු නැවත උද්දීපනය වී ඇත.
MH370 ගුවන් යානය 2014 මාර්තු 8 වැනිදා ක්වාලාලම්පූර් නගරයෙන් චීනයේ බෙයිජිං වෙත ගමන් ආරම්භ කළේය. එම ගුවන් ගමන ආරම්භයෙන් මිනිත්තු 39කට පසු යානය ගුවන් ගමන් පාලන පද්ධතියෙන් අතුරුදන් විය. “Good night, Malaysian Three Seven Zero” යනුවෙන් නියමුවා විසින් කළ අවසන් සන්නිවේදනයෙන් පසු යානයෙන් කිසිදු පණිවිඩයක් නොලැබිිණ.
ඊට ටික වේලාවකට පසු ගුවන් යානයේ ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත වී ඇති බවත්, හමුදා රේඩාර් දත්ත අනුව යානය ආපසු හැරී අන්දමන් මුහුද දෙසට ගමන් කළ බවත් අනාවරණය විය. දැනට ඇති දත්ත අනුව, යානය පැය කිහිපයක් පුරා පියාසර කර ඉන්ධන අවසන් වීමෙන් පසු දකුණු ඉන්දියන් මුහුදේ දුරස්ථ ප්‍රදේශයකට කඩා වැටී ඇති බවට සැක කෙරේ.
මෙම ගුවන් යානයේ මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනකු සිටියහ. ඔවුන් අතර විවිධ රටවල පුරවැසියන් සිටි අතර, කුඩා දරුවන් පස් දෙනකු ද මෙම ගුවන් ගමනේ සිටියහ. බොහෝ පවුල්වල, සාමාජිකයින් කිහිපදෙනකු එකවර අතුරුදන් වීමෙන් දැඩි වේදනාවක් ඇති විය.
අතුරුදන් වීමෙන් පසු, මැලේසියාව, ඔස්ට්‍රේලියාව සහ චීනය එක්ව යානය සොයා ගුවන් ඉතිහාසයේ විශාලතම මෙහෙයුමක් ආරම්භ කළද, වසර ගණනාවක් ගතවුවද යානයේ විශාල සුන්බුන් හෝ මෘතදේහ කිසිවක් හමුවී නැත. 2015 වසරේදී හමුවූ පියාපත් කොටසක් (flaperon) පමණක් MH370 සම්බන්ධයෙන් තහවුරු කළ හැකි එකම සාක්ෂිය විය.
2017 වසරේදී සෙවීම් නවතා දැමූ අතර, 2018 දී Ocean Infinity සමාගම නැවත සෙවීමක් සිදු කළද, එයද සාර්ථක නොවීය. මුහුදු ගැඹුරු බව සහ අයහපත් කාලගුණය මෙම සොයුම් සඳහා විශාල අභියෝගයක් විය.
දැන්, නව තාක්ෂණය භාවිතා කරමින්, පෙර සෙවූ ප්‍රදේශවලට වඩා සීමිත නව මුහුදු කලාපයක් තුළ MH370 සොයා යාමට මෙම නව මෙහෙයුම යොදා ඇත. ගුවන් යානය හමුවුවහොත් පමණක් සොයුම් කටයුතු සිදු කරන Ocean Infinity සමාගමට ගෙවීම සිදු කෙරේ.
වසර 10කට පසුත් MH370 අභිරහසට පිළිතුරක් ලැබේද යන්න පිළිබඳව ලෝකයම තවමත් බලා සිටී. මෙම නව මෙහෙයුම, දිගු කාලයක් තිස්සේ පිළිතුරු බලා සිටින පවුල්වලට අවම වශයෙන් සත්‍යය හෙළි වීමේ අවස්ථාවක් හෝ ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.


