වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කළ “Operation Absolute Resolve” නමින් හැඳින්වුුණරහසිගත හමුදා මෙහෙයුම, සීතල යුද්ධයෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේ සිදු කළ විශාලතම සහ දුර්ලභතම ඇමෙරිකානු හමුදා මැදිහත්වීම්වලින් එකක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීමට පෙර මාස ගණනාවක් පුරා ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන් විසින් මදුරෝගේ දෛනික ක්‍රියාකාරකම් සවිස්තරව නිරීක්ෂණය කර තිබේ. වෙනිසුවෙලා රජය ඇතුළත සිටින එක් රහස් මූලාශ්‍රයක් ඇතුළු කුඩා කණ්ඩායමක්, මදුරෝ කොතැන නිදාගන්නේද, කුමක් කන්නේද, කුමන ආරක්ෂාව යටතේ සිටිනවාද යන්න දක්වා තොරතුරු රැස් කර ඇති බව සඳහන්ය. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා භාවිතා කරන ගොඩනැගිලි, දොරටු, ආරක්ෂක මාර්ග සහ පලා යා හැකි මාර්ග ද නිරීක්ෂණයට ලක් කර තිබේ.

මෙහෙයුම සඳහා සූදානම් වීමේදී, ඇමෙරිකානු විශේෂ හමුදා ඒකකයන් විසින් කරකස් නගරයේ මදුරෝ පදිංචිව සිටින බවට සැක කරන ආරක්ෂිත නවාතැන්ගෙයේ සම්පූර්ණ ප්‍රමාණයේ ආකෘතියක් සකස් කර, එහි ඇතුල්වීමේ මාර්ග, දොරටු කඩා බිඳින්නේ කෙසේද යන්න පුහුණු වී ඇති බවත් වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් අනුමැතියෙන්, මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ 2025 දෙසැම්බර් මස මුල් දිනවලදීය. කාලගුණ තත්ත්වය, වලාකුළු ආවරණය සහ අඳුර උපරිම ලෙස භාවිතා කළ හැකි වේලාව සලකා බලා, සිකුරාදා රාත්‍රියේ කරකස් නගරයට ගමන් ගන්නා ලෙස හමුදාවට නියෝග ලැබීය.

ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රී 10.46ට (කරකස් වේලාවෙන් මධ්‍යම රාත්‍රියට සමීපව) ජනාධිපති ට්‍රම්ප් විසින් මෙහෙයුම ආරම්භ කිරීමට අවසන් නියෝගය ලබා දී ඇත. ඒ අනුව, ගුවන්, මුහුදු සහ භූමි මට්ටමින් එකවර ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම පැය දෙකකට අධික කාලයක් පුරා පැවති බව සඳහන්ය.
මෙහෙයුමේ මුල් අදියර ලෙස, කරකස් නගරය සහ අවට ප්‍රදේශවල පිහිටි ගුවන් හමුදා කඳවුරු, ගුවන් ආරක්ෂක පද්ධති සහ වරාය කිහිපයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. ගුවන් යානා 150කට අධික සංඛ්‍යාවක්—බෝම්බර් යානා, සටන් යානා සහ නිරීක්ෂණ යානා—මෙම මෙහෙයුමට යොදාගත් බව ඇමෙරිකානු නිලධාරීන් පවසති. කරකස් නගරය පුරා විදුලි බලය බිඳ වැටීමෙන් නගරය අඳුරට වැටී, ජනතාව තුළ භීතිය පැතිර ගියේය.
රාත්‍රී 2ට පමණ නගරය පුරා විශාල පිපිරීම් කිහිපයක් සිදු වූ බවත්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නගරයට පහළින් පියාසර කළ බවත් ප්‍රදේශවාසීහු විදෙස් මාධ්‍යවලට පැවසීය. සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවලින් ද මෙම පිපිරීම් සහ ගුවන් මෙහෙයුම් දැකගත හැකි විය.
ගුවන් ප්‍රහාර සමඟම, ඇමෙරිකානු විශේෂ හමුදා ද ඇතුලත් Delta Force ඒකකය, හෙලිකොප්ටර් මගින් කරකස් නගරයට ඇතුළු වී, මදුරෝ පදිංචිව සිටින බවට සැක කරන ආරක්ෂිත නවාතැන්ගෙය වටලා ඇත. දැඩි ආරක්ෂාව යටතේ තිබූ එම ගොඩනැගිල්ලට ඇතුළු වීමේදී, වානේ දොරටු කඩා බිඳ දමා ඉතා වේගයෙන් මෙහෙයුම සිදු කළ බව ඇමෙරිකානු හමුදා ප්‍රධානීහු පවසති.

මෙහෙයුම අතරතුර මදුරෝ ආරක්ෂිත කාමරයකට පලා යාමට උත්සාහ කළ ද, එය අසාර්ථක වූ බව ජනාධිපති ට්‍රම්ප් පසුව ප්‍රකාශ කළේය. ඔහු සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් ඇමෙරිකානු හමුදා භාරයට ගෙන, හෙලිකොප්ටර් මගින් වෙනිසුවෙලා භූමියෙන් පිටතට රැගෙන ගොස් ඇත.
මෙහෙයුම අවසානයේ, මදුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන යාමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු චෝදනා යටතේ නඩු පවරා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් කිහිපයක් දැඩි විරෝධය පළ කර ඇති අතර, බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා මෙය “අන්තර්ජාතික නීතියට අභියෝග කරන අනතුරුදායක පූර්ව නිදසුනක්” ලෙස හැඳින්වීය. ඊට අමතරව, ඇමෙරිකානු කොන්ග්‍රසයේ විරුද්ධ පක්ෂ නායකයන් කිහිපදෙනකු ද කොන්ග්‍රසය දැනුවත් නොකර මෙවැනි හමුදා ක්‍රියාමාර්ගයක් ගත් බවට දැඩි විවේචන එල්ල කර ඇත.
“Operation Absolute Resolve” මෙහෙයුම, ඉදිරියේදී ලෝක දේශපාලනයට සහ අන්තර්ජාතික සබඳතාවලට කුමන ආකාරයේ බලපෑමක් සිදු කරයිද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.



