23.1 C
Galle

වෙනිසියුලාවට පසු ග්‍රීන්ලන්තය? ට්‍රම්ප්ගේ බල සටන් දේශපාලනය

Published:

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමේ ට්‍රම්ප් සැලසුම, ආරක්ෂාව සඳහාද? ඛනිජ සම්පත් ලබා ගැනීමටද? නැතිනම් නව බල අරගලයක ආරම්භයක්ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමීප උපදේශකයන් ග්‍රීන්ලන්තය ඇමරිකාවේ පාලනය යටතට ගැනීම පිළිබඳ විකල්ප සැලසුම් සලකා බලමින් සිටින බවට ධවල මන්දිරය පසුගිය දිනවල තහවුරු කළේය.
ට්‍රම්ප් පවසන්නේ, මෙම පියවර ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, මෙම අදහස ග්‍රීන්ලන්තයේ නායකත්වයත්, එය අයත් නේටෝ සාමාජික රටක් වන ඩෙන්මාර්කයත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අතර, “ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ට ඇයි මෙතරම් වැදගත්?” යන්න පිළිබඳ ලෝක අවධානය යළිත් වරක් යොමු වී තිබේ.

ග්‍රීන්ලන්තය – ලෝකයේ විශාලතම දූපත

ග්‍රීන්ලන්තය යනු මහාද්වීපයක් නොවන ලෝකයේ විශාලතම දූපත වන අතර, එය පිහිටා ඇත්තේ උතුරු ධ්‍රැවයට ආසන්න ආර්ක්ටික් කලාපයේය.
එය ජනගහනය අතිශය අඩු ප්‍රදේශයක් වන අතර, ජනගහනය ආසන්න වශයෙන් 56,000ක් පමණය. එම ජනතාවගෙන් බහුතරය දේශීය ඉනුයිට් ජනතාව වේ.

ග්‍රීන්ලන්ත භූමි ප්‍රමාණයෙන් සියයට 80කට ආසන්න ප්‍රදේශයක් තවමත් හිමෙන් ආවරණය වී ඇති අතර, බහුතර ජනතාව ජීවත් වන්නේ නිරිත දිග වෙරළ තීරයේ, අගනුවර වන නූක් අවටය.

ඛනිජ සම්පත් සහ උණුසුම් වන ලෝකය

වර්තමානයේ ග්‍රීන්ලන්ත ආර්ථිකය ප්‍රධාන වශයෙන් මත්ස්‍ය කර්මාන්තය මත පදනම් වන අතර, ඩෙන්මාර්ක රජය විසින් විශාල ආධාර මුදල් ද ලබා දෙයි.
කෙසේ වෙතත්, මෑත වසරවල ග්‍රීන්ලන්තයේ දුර්ලභ ඛනිජ, යුරේනියම් සහ යකඩ ඇතුළු සම්පත් පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩිවී තිබේ.

ලෝක උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ, විශාල හිම තට්ටුව දියවීමෙන් මෙම ඛනිජ සම්පත් වඩාත් පහසුවෙන් ලබාගත හැකි වීම මේ උනන්දුවට ප්‍රධාන හේතුවක් වී ඇත.
ට්‍රම්ප් පසුගිය කාලයේ යුක්රේනය ඇතුළු රටවල් සමඟ කටයුතු කිරීමේදී ද ඛනිජ සම්පත් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් ගත් බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.

නමුත් ට්‍රම්ප් අවධාරණය කරන්නේ, අපට ග්‍රීන්ලන්තය අවශ්‍ය වන්නේ ඛනිජ සම්පත් නිසා නොව, ජාතික ආරක්ෂාව නිසාය”
යනුවෙනි.

රුසියානු–චීන බලපෑම ගැන ඇමරිකානු බිය

ට්‍රම්ප් පවසන්නේ ග්‍රීන්ලන්තය වටා රුසියානු සහ චීන නෞකා ක්‍රියාත්මක වන බවයි.
ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ දේශපාලකයන්ගේ මතය වන්නේ, ආර්ක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය බලය වැඩි කරගැනීම ඇමරිකානු ආරක්ෂාවට දැඩි අවදානමක් බවයි.

බලයෙන් අල්ලාගැනීමේ ඉඟි

වෙනිසුවෙලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් ඇමරිකානු හමුදා මෙහෙයුමෙන් පසු, ට්‍රම්ප් නැවත වරක් ග්‍රීන්ලන්තය අල්ලාගැනීම පිළිබඳ කතා කළේය.
එයට ප්‍රතිචාර දක්වමින් ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩ්රික් නීල්සන් පවසා සිටියේ, මේක දැන් ප්‍රමාණවත්. මෙය සම්පූර්ණයෙන්ම කල්පිතයක්”
යනුවෙනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් සහ ඔහුගේ සමීපයන් පසුවත් සිය ස්ථාවරය තද කරමින්, හමුදා බලය භාවිතා කිරීම පවා ප්‍රතික්ෂේප නොකරන බව පැවසීය.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ, “අවස්ථානුකූල සැලසුම්” පෙන්ටගනය සතුව ඇති බවයි.

නේටෝ තුළ අර්බුදයක්ද?

ඩෙන්මාර්ක අගමැති මෙට්ටෙ ෆ්‍රෙඩරික්සන් අනතුරු අඟවා ඇත්තේ, ග්‍රීන්ලන්තය අල්ලාගැනීමේ ඕනෑම උත්සාහයක් නේටෝ සන්ධානය අවසන් වීමටත් හේතු විය හැකි බවයි.
බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්මර් ද “ග්‍රීන්ලන්තයට අත නොතබන්න” යන ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

ග්‍රීන්ලන්ත ජනතාවගේ හඬ

ග්‍රීන්ලන්ත ජනතාවගේ ස්ථාවරය පැහැදිලිය. ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්ත ජනතාවටයි”යන්න ඔවුන් නැවත නැවත කියා සිටී.

ඩෙන්මාර්කයෙන් ස්වාධීන වීමට බහුතරයක් කැමති වුවත්, ඇමරිකාවේ කොටසක් වීම ඔවුන් බහුතරයක් ප්‍රතික්ෂේප කරයි.

දේශීය සංචාරක ව්‍යාපාරික ඩයිනස් මිකායල්සන් පවසන්නේ, “මෙය ඉතාමත් භයානක අදහසක්. අපි මිලදී ගත හැකි භාණ්ඩයක් ලෙස ඔහු අපට සලකනවා.”යනුවෙනි.

ග්‍රීන්ලන්තයේ ප්‍රථම කාන්තා අගමැති ඇලෙකා හැමන්ඩ් ද මෙය දැඩි ලෙස විවේචනය කර තිබේ.

ග්‍රීන්ලන්තය පිළිබඳ ට්‍රම්ප්ගේ උනන්දුව භූ-උපායමාර්ගික බල අරගලයක්, ආර්ක්ටික් කලාපයේ නව බල සටනක් සහ ලෝක බලවතුන් අතර ගැටුමක් ලෙස දැකිය හැක.
මෙය අනාගතයේදී නේටෝ සන්ධානය, ජාත්‍යන්තර නීතිය සහ කුඩා ජනතාවගේ ස්වයංනිර්ණ අයිතියට දැඩි අභියෝගයක් බවට පත්විය හැකි බව විශ්ලේෂකයන් අනතුරු අඟවති.

Related articles

Recent articles

error: Content is protected !!