කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු ආරම්භයේ දී මූලික කොටස් නිකුතුවක් සිදුකර තිබූ වෙල්ත් ට්‍රස්ට් සිකුරිටි සමාගමේ කොටසක් රුපියල් 7.00 බැගින් කොටස් මිලියන 71.548ක් අද දිනයේ ගනුදෙනු සඳහා යොමු කර තිබිණි. ගනුදෙනු ආරම්භයේ දී රුපියල් 7.00 බැගින් වූ එක් කොටසක් රුපියල් 25,000.00 බැගින් කොටස් මිලියන 6.3ක් ගනුදෙනු වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වහාම අත්හිටුවීමට විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව තීරණය කරන ලදී.
ඒ අනුව එම මිල ගණන්වලට ගනුදෙනු සිදුවීම කොළඹ කොටස් වෙළෙඳ පොළ පරිගණක පද්ධතිවල සිදු වූ තාක්ෂණික දෝෂයක් ලෙස සළකා අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සම්පූර්ණයෙන් වසා තැබීමටත්, ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වූ සීමාවේ සිට නැවත හෙට (08) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී.
එසේ වුව ද මෙය කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සිදු වූ විශාලතම අසාමාන්‍ය කොටස් මිල ඉහළ යාම වන අතර රුපියල් 7.00 බැගින් මිල දී ගත් එම ආයතනයේ කොටස් රුපියල් 25,000.00 බැගින් විකිණීමෙන් අසාමාන්‍ය ලාභයක් ලැබූ ආයෝජකයන්ට සහ රුපියල් 25,000.00 බැගින් කොටස් මිල දී ගත් ආයෝජකයන්ට සමස්තයක් ලෙස සාධාරණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් අද දිනයේ කොටස් වෙළෙඳ පොළ සියලුම ගනුදෙනු අවලංගු කිරීමට තීරණය කරන ලදී.
දීර්ඝ කාලයක් තිස්සේ කොටස් මිල දර්ශකය ස්ථාවරව ඉහළ යමින් තිබිය දී මෙවැනි අසාමාන්‍ය සිදුවීමක් වාර්තාවීම ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා අගතිගාමී ලෙස බලපෑම් සිදුවීමටත් හැකියාවක් ඇති බව ආයෝජකයෝ ප්‍රකාශ කර සිටිති.


