25.9 C
Galle

ගැඹුරු පීඩන අවපාතය අද රට ඇතුළට එයි

Published:

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

එම ගැඹුරු පීඩන අවපාතය අද අලුයම 4.00 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබිණි.

මෙම තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50-75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝමීටර 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related articles

Recent articles

error: Content is protected !!