26.4 C
Galle

රිමාන්ඩ් කළ, බලංගොඩ කස්සප හිමි කෑම ප්‍රතික්ෂේප කරලා

Published:

රිමාන්ඩ් භාරයට පත්කෙරුණු බලංගොඩ කස්සප නමැති භික්ෂුව බන්ධනාගාරයෙන් ලබාදෙන දිවා ආහාරය ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් බව කියන වෙරළ ආසන්න ඉඩමක සිදුකරන ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අධිකරණයේ දී විභාගයට ගත් ඊයේ (14) එම කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් සිව් දෙනකු සහ තවත් සැකකරුවන් 05 දෙනකු රිමාන්ඩ් කරන්න යැයි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

එම ස්ථානයේ දහම් පාසලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමෙන් පසු බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පසුගිය නොවැම්බර් 16 වැනි දා කටයුතු කර තිබිණි. අදාළ ඉඩමේ සිදුකරන ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෛාලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය එම භික්ෂූන් දැනුම්වත් කර තිබූ අතර පසුව එදින රාත්‍රී එම බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් ඉවත් කෙරිණි.

එහි දී කලබලකාරී තත්වයක් ඇති වූ බැවින් පසුදින නැවත පොලිසිය විසින් ම අදාළ බුදුපිළිමය එතැනට ගෙනැවිත් යළි තැන්පත් කෙරිණි.

මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ අනවසරයෙන් ඉදිකර ඇති කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත් නොවැම්බර් 19 වනදා සලකා බැලුණි.

එහිදී ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ගැටලුව සාමකාමී ලෙස විසඳාගන්නැයි අභියාචනාධිකරණය අදාළ පාර්ශ්ව වෙත දැනුම්දුන්නේ ය.

ඉන්පසු විහාරස්ථානයේ ඊට පෙර ඇති වූ ගැටලුකාරී සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (14) යළි කැඳවා තිබුණි.

එහිදී අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ත්‍රිකුණාමලය වරාය පොලිසිය එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 09 දෙනා ජනවාරි 19 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

Related articles

Recent articles

error: Content is protected !!