අධික වර්ෂාව හේතුවෙන් පිටාරගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනකුට මරණය ළඟා කිරීම සහ තවත් 68 දෙනකුගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරා ලබන 21 වැනි දා දක්වා නැවත රිමාන්ඩ් කරන්න යැයි නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.අයි.ජමිල් පසුගිය 14 වැනි දා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ සාලියවැව ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක කුමාරසිංහ නමැති අයෙකි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 300 වගන්තිය යටතේ “මිනී මැරුම්” සහ “මිනී මැරීමට තැත් කිරීම” යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටිි නීතිඥ දුෂාන්තිකා දිසානායක කියා සිටිියේ මෙම අනතුර මගී ජීවිත හානි කිරීමේ චේතනාවකින් සිදු නොවූවක් බැවින්, මිනී මැරීමේ චෝදනා ඉවත්කර සැකකරුට ඇප ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරීවරයා සහ රාජාංගනය පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තියේ එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඇප අවශ්‍ය නම් මහාධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවයි.
අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියේ ය.
සාමාන්‍ය රිය අනතුරකින් වෙනස් වන්නේ කෙසේ ද ?
මෙය සාමාන්‍ය රිය අනතුරක් වූයේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ “නොසැලකිලිමත් කම හෝ අපරික්ෂාකාරී ක්‍රියාවක් මගින් මරණය සිදුකිරීමක්” ලෙස සැළකේ. නමුත් යම් ක්‍රියාවක් මගින් මරණය සිදුවිය හැකි බව ඉතා පැහැදිලිව පෙනි පෙනී, එම මරණීය ප්‍රතිඵලය පිළිබඳ පූර්ණ දැනුමක් ඇතිව යමකු එම ක්‍රියාව සිදු කර ඇත්නම් එය තවදුරටත් හුදු නොසැකිල්ලක් නොව, එය මිනීමැරුමක් හෝ සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් දක්වා වර්ධනය විය හැකි වරදකි.
අනතුරු ඇඟවීම් නොතකා හැරලා
එම බස් රථය ධාවනය කරන අවස්ථාවේ දී කලාඔය පිටාර ගලා ඇති බව ඇසට පෙනෙන්නට තිබිය දීත්, එම ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් අනතුරේ බරපතලකම පෙන්වා දෙමින් බස් රථය නවත්වන ලෙස අණ කරද්දීත් රියදුරා එය නොතකා ධාවනය කිරීම, මරණය නියත බව දැන දැන ම ගත් තීරණයක් ලෙස සැළකිය හැකිය. එම “දැනුම” “දැන සිටීම” යන සාධකය මත විත්තිය ඉදිරිපත් කරන තර්කය බිඳ වැටෙයි.
යාංගල් මෝදර අනතුරට සමානයි
මෙවන් අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපට ඇති හොඳම නීතිමය පූර්වාදර්ශය (Legal Precedent) වන්නේ 2005 වසරේ සිදුවූ යාංගල්මෝදර දුම්රිය-බස් අනතුරයි. එදා දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා තිබියදී, දුම්රිය පැමිණෙන බවට සංඥා ලැබෙද්දී, “කෝච්චිය එන්න කලින් දාන්න පුළුවන්” යන අමනෝඥ විශ්වාසය මත රියදුරා සහ කොන්දොස්තරවරයා බස් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කළහ. එහි ප්‍රතිඵලය වූයේ ජීවිත 41ක් අහිමි වීමයි. නීතිපතිවරයා විසින් එම නඩුවේදී රියදුරාට සහ කොන්දොස්තරවරයාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා 152ක් ගොනු කළ අතර, කුරුණෑගල මහාධිකරණය විසින් එය “චේතනාන්විත මිනී මැරීමක්” ලෙස සලකා ඔවුන්ට මරණ දඬුවම නියම කරන ලදී.
යාංගල්මෝදර සිද්ධිය හා කලාඔය සිද්ධිය අතර ඇත්තේ ඉතා සමාන සම්බන්ධතාවකි. යාංගල්මෝදරදී “වසා තිබූ දුම්රිය ගේට්ටුව” අනතුරේ රතු එළිය වූ අතර, කලාඔය පාලමේදී “පොලිස් නිලධාරීන්ගේ අණ” සහ “ගලා යන සැඩ පහර” එම රතු එළිය විය. මේ අවස්ථා දෙකේදීම රියදුරන් ක්‍රියා කර ඇත්තේ තමන් භාරයේ සිටින මගීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම අමු අමුවේ උල්ලංඝනය කරමිනි. පොලිස් නිලධාරියෙකුගේ අණක් යනු හුදු නීතිමය නියෝගයක් පමණක් නොව, එය කෙනෙකුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පනවනු ලබන බාධකයක් බව වටහා ගත යුතුය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ප්‍රතික්ෂේප කරමින් මිනීමැරුම් චෝදනා යටතේම නඩුව පවත්වාගෙන යාමට දුන් නියෝගය, අනාගතයේදී අණ නොතකා ධාවනය කරන රියදුරන්ට දැඩි අනතුරු ඇඟවීමක් වනු නොඅනුමානය.
නීතිඥ නාලින්ද දිසානායක තැබූ සටහනක් ඇසුරින් සකස් කරන ලදී


