එක ම බංකුවක් මත වාඩි වී හිරු නැග එන අයුරුත්, හිරු බැස යන අයුරුත් නැරඹිය හැකි තැනක් ඇත්නම් ඒ ගාල්ල කොටුව පමණක් ම විය යුතුය.
ගාල්ල කොටුව යනු අග්නිදිග ආසියාවේ සමුද්‍රාසන්නයේ හොඳින් ම සංරක්ෂණය වී ඇති පැරණිත ම යුරෝපීය බළකොටුවයි. සියවස් ගණනක් ලෝකය පුරා අණසක පැතිර වූ යුරෝපීය ජාතීන් තුනක් විසින් පාලනය කළ ගාල්ල අදටත් එම අධිරාජ්‍යයන්හි ව්‍යුහාත්මක ලක්ෂණ හොඳින් දරාගෙන සජීවී වරාය නගරයක් ලෙස විරාජමානව සිටියි.
ගාල්ල, ලෝකයේ ම අවධානයට ලක්ව ඇත්තේ පැරණි යුරෝපීය බළකොටුව නිසා ම පමණක් නොවේ. එය ලොව සදාහරිත පරිසරයකට ප්‍රවේශවීමට ඇති හොඳම ද්වරාය ලෙසද සැළකීම හේතුවෙනි. මිහිදුමින් වැසී ගිය තුරුලතාවන්ගෙන් හෙබි වන ගොමු, උස් කඳු මුදුන්වල තේ වතු යායවල්, කඩා හැලෙන දිය ඇළි, සදාහරිත මහා වනාන්නතර, පක්ෂීන්ගේ රජ දහන් වූ තෙත් බිම් පමණක් නොව සුන්දර මුහුදු තීරයක පහස විඳ මිහිතලයේ දැවැන්තයන් දිය කෙළිනා හැටි නැරඹිය හැකි ලොව පිහිටි සංචාරක ගමනාන්තයක් ඇත්නම් ඒ ගාල්ල ම පමණි.
මේ නිසාම ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් 60%-70%ක් පමණ දෙනා අනිවාර්යයෙන් ම සිය ගමනාන්තයක් ලෙස තෝරාගන්නා ස්ථානයක් බවට ගාල්ල පත්ව ඇත.
2024 වර්ෂයේ දී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.9ක් පමණ වූ අතර එය 2025 වර්ෂයේ දී මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් 70%ක් පමණ ගාල්ලට පැමිණීම සැළකූ විට සංචාරකයන් වැඩිපුර පැමිණෙන කාලවල දී දිනකට ගාල්ල කොටුව නරඹන විදේශ සංචාරකයන් සංඛ්‍යාව 3,000ක් පමණ වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව සනාථ වෙයි.
බෙන්තොට සිට ගොවියාපාන දක්වාම විහිිදී ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය බෙන්තොට, අහුංගල්ල, මාදු ගඟ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල කොටුව, උණවටුන, කොග්ගල විශාල වශයෙන් සංචාරක ආකර්ශනීය ප්‍රදේශ ලෙස දැකගත හැකි අතර එය රට මධ්‍යයට ව්‍යාපත් වී ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි. එසේ වුව ද මාර්ග පහසුකම් වර්ධනයත් සමඟම ග්‍රාමීය පරිසරවල ද සංචාරක නවාතැන්, නිවාඩු නිකේතන සහ විලා ඉදිවී ඇති ආකාරය දක්නට ලැබෙයි. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන කාලවල දි මෙලෙස සංචාරක සේවා සපයන හෝටල් ඇතුළු අනෙකුත් ස්ථානවල පිරවුම් අනුපාතය 85%-90%ත් තරම් විශාල අගයක් ගන්නා අතර ගාල්ලේ සංචාරක කර්මාන්තය බහුල ප්‍රදේශවල ජීවත්වන ජනගහනයෙන් 30%-40% ක් අතර ප්‍රමාණයක් සෘජු හා වක්‍රව සංචාරක කර්මාන්තය සහ බද්ධවූ ජීවිකාවක් ගත කරති. ඒ අතර හෝටල් හිමියාගේ සිට අත්කම් නිර්මාණ ශිල්පීන්, සංචාරක මඟ පෙන්වන්නන් පමණක් නොව ඇතැම් අවස්ථාවල දී සංචාරකයන්ගෙන් සිඟමන් යදින්නෝ ද සිටිති.
පුරාවිද්‍යා පර්යේෂකයකු සහ සංචාරක අර්ථකථකයකු වන තරංග ලියනාරච්චචි මෙසේ කීවේය.

“ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කරගෙන යන්නේ ග්‍රීන් ඇන්ඩ් ක්ලීන් සංකල්පයෙන්. ඒ වගේම හිනා වෙලා ඉන්න මිත්‍රශීලී ජනතාවක් අපේ රටේ ඉන්නේ. මෙන්න මේකට වර්තමාන සංචාරකයන් ඉතාමත් ආකර්ශනීයයි. ඒ නිසා දැන් ලෝකයේ ඉතාමත් වැදගත් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අතරිනුත් ගාල්ල ලෝක උරුමයක් වීම, එහි සුවිශේෂී පිහිටීම, ගාල්ල බළකොටුවේ සජීවී බව පාසල්, ආගමික ස්ථාන, මිනිසුන් ජීවත්වීම, කලා කෘති, යුරෝපීය ජාතීන් තුනක ගොඩනැගිලි නිර්මාණ, පටු වීදි ඔස්සේ ඇවිදගෙන යාමට ඇති අවස්ථා වගේ දේවල් මේ සංචාරකයන් විඳින්න කැමතියි. ඒ නිසා ගාල්ලට එන සංචාරකයන් සංඛ්‍යාව වැඩි වෙලා. මේ එන සංචාරකයන්ට අපි පහසුකම් සපයන්න ඕන තවදුරටත් මේ සඳහා අවශ්‍ය නවතැන් පහසුකම්, පුහුණු මඟ පෙන්වන්නන්, ශ්‍රමිකයන් බිහිකරන්න ඕන. ඒ වගේම සංචාරකයන්ගේ පහසුව සඳහා මාර්ග තදබදය අඩු කරලා ඔවුන් විඳින්න බලාපරොත්තු වෙන දේ අපි ගාල්ලේ ඇති කරන්න ඕන. ඒ තුළින් මම හිතනවා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා.”
දකුණු පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මෙසේ පවසයි.

“අපි 2025 වර්ෂයේ දී සංචාරකයන් වෙනුවෙන් යටිතල පහසුකම් ඇතිකරන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්ම කළා. විශේෂයෙන් ම හික්කඩුව සහ උණවටුන ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කළා. එහි තවත් අදියරක් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මුහුදේ විනෝදවන සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්න වැඩසටහන් කළා. මාර්ගවල අඳුරුතැන්වල විදුලි සැපයුම් ඇති කිරීමට කටයුතු කළා. කසළ ගැටලුව විසඳන්න රූමස්සල කසළ රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සංචාරකයන්ට ඉතාමත් ආචාරශීලී, ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා ත්‍රී රෝද රථ රියදුරන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහනක් කළා. අපි දැනට ඒ ත්‍රී රෝද රථ රියදුරන්ගේ දත්ත ගබඩාවක් සකස් කරලා තියෙනවා. ඉදිරියේ දී ඔවුන් හඳුනාගැනීම පහසු වෙන්න ජැකට් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාල්ලේ සංචාරක කර්මාන්තයට සම්න්ධ සියලුම ආකාරයේ සේවා සහ සැපයුම් සිදුකරන අය එකතුකරලා ඔවුන්ට අන්තර්ජාල පුහුණුවක් ලබාදීලා අපි ඒ අයට තොරතුරු තාක්ෂණික පුහුණුවක් දීලා සියලු පාර්ශවකරුවන් හා සම්බන්ධ කරන්න කටයුතු කළා.”
ගොඩකන්ද පවසන්නේ ගාල්ලේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වරින්වර දිස්ත්‍රික් සම්බන්ධීකරණ සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දී සාකච්ඡා කරන බවයි. එම කමිටුවල දී ඉදිරිපත් වන යෝජනා සාකාච්ඡා කර අවශ්‍ය සුදුසු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය. ඒ අතර විශේෂයෙන් ම ප්‍රාදේශීය වශයෙන් හඳුනාගත් සංචාරක ආකර්ශණීය ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටින බව ද හෙතෙම කීවේ ය.
“දකුණු පළාත ඉලක්ක කරගෙන ‘සදර්න් ශ්‍රී ලංකා ට්‍රේල්’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ තුළින් සංචාරකයන් වැඩිදුරටත් දකුණට ආකර්ශනය කරගැනීම සඳහා අපි තානාපති කාර්යාල සමඟ පවා මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා.” හෙතෙම පවසයි.
දකුණු පළාත් හොටෙලියර්ස් ඇසෝසිඒෂන් හි හිටපු සභාපති සහ ලේඩිහිල් හෝටලයේ කළමණාකාර අධයක්ෂ සේනක ද සිල්වා පවසන්නේ සංචාරකයන් වෙනුවෙන් පහසුකම් වැඩිදියුණු කිරීම ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුතු බවයි.

“මේක ඉතාමත් ගුණාත්මකව සහ ප්‍රවේශමෙන් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍රයක්. සේවාවන්වල ප්‍රමිතියක් නැතිව කර්මාන්තය කරන්න ගියොත් අපි විනාශය කරා යනවා. පහසුකම් වැඩිදියුණු කරද්දී රජය ඒවා ප්‍රමිතිගත කරන්න අවශ්‍යයි. අංක වැඩි කරනවාට වඩා ගුණාත්මක බවයි වැඩි වෙන්න ඕන. කොරෝනා සමඟ රට පත් වූ තත්වය එක්ක ඉන් පස්සේ ලොකු සංවර්ධනයක් වුණේ නෑ. ඒ නිසා රජය බලන්න ඕන මේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට තියෙන ගැටලු විසඳලා ඔවුන්ට ක්ෂේත්‍රය ගුණාත්මක සංවර්ධනයක් කරා ගෙන යන්න අවස්ථාවක් දෙන්න. එතකොට මේ කර්මාන්තය හොඳින් වර්ධනය වේවි. ඒ වගේම සමහර දේවල් පාලනය කරන්න ඕන. ත්‍රී රෝද රථ ප්‍රශ්නය බරපතලයි. සංචාරකයන් ගෙන එන අයට අල්ලගෙන ගහනවා. සංචාරකයන්ට නිරුවත පෙන්වනවා. පොලිසියට ගියාම පැමිණිල්ලක් ලියාගන්න භාෂා ප්‍රශ්න මතුවෙනවා.”
සංචාරක කර්මාන්තයේ නිරත වූ බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ ගාල්ල සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් ලෝකයේ ම ප්‍රසිද්ධියට පත්ව ඇතත් ගාල්ලට එන සංචාරකයන් එහි ඇතුළුවන විට ම දකින්නේ කසළ ගොඩවල් බවයි.
අධිවේගී මාර්ගයෙන් ගාල්ලට පිවිසෙන දෙවට මං සන්ධියේ සිට ගාල්ල නගරය දක්වා දිවෙන කොළඹ මාතර ප්‍රධාන මාර්ගය දෙපස දිරා යන යකඩ ගොඩවල් සහ කැඩී ගිය බෝට්ටු කැබලි ගොඩගසා ඇත. සෑම තැනම කුණු ගොඩගසා ඇත. එම මාර්ගයේ තැන තැන ගාල්ල මහ නගර සභාව විසින්ම එකතු කරන කුණු ගොඩගසා තිබේ. ගාල්ල කොටුවේ ද තැන තැන කුණු ගොඩගසා ඇති අතර සංචාරක ආකර්ශණීය ස්ථානයක් වූ රූමස්සල ජංගල් බීච් හි පසෙක විශාල කසළ ගොඩකි.
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් නිහඬතාව ප්‍රියකරන නමුත් ඔවුන්ට නිරන්තර ආගමික ස්ථානවල, සංගීත සංදර්ශනවල සහ විවිධ උත්සවවල ඝෝෂාකාරී ශබ්දයත් වාහන නලා ශබ්දයත් කරදකාරී බවට නිරන්තර චෝදනා කරන බව ද හෝටල් සංගමය පවසයි.
සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකු වන නිශ්ශංක ඈපාලියන මෙසේ කීවේය.

“අපි බලාපොරොත්තුවන සංචාරක කර්මාන්තය අද තියෙනවා ද කියලානම් ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව සංචාරකයන් වැඩියෙන්ම ආපු වර්ෂය කියලා ලොකුවට කියනවා. ඒත් ඒ වැඩියෙන් ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන්, චීනයෙන් සහ රුසියාවෙන්. ඒ අය ඇවිත් මෙහේ වැඩිපුර සල්ලි වියදම් කරන්නේ නෑ. අපිට අවශ්‍ය වන්නේ හොඳට සල්ලි වියදම් කරන සංචාරකයන්. ඒත් සල්ලි වියදම් කරන සංචාරකයන් ගේන්න රජයට සැළැස්මක් තියෙන බවක් පේන්නේ නෑ. ඒ අය එන විදියට යටිතල පහසුකම් වැඩි කරන්න ඕන. තියෙන හෝටල්වල ගුණාත්මක බව වැඩි කරන්න ඕන. හොඳ සේවාවක් දෙන්න ඕන. සංචාරකයකුට පාරේ බැහැලා තමන් කැමති තැනක ඇවිදින්න බෑ. අපේ මිනිස්සු ටුක් ටුක්වලින් ගිහින් වටකරගන්නවා. සංචාරකයන්ට අවශ්‍ය තැනක් බලන්න අවශ්‍ය දෙයක් මිල දී ගන්න දෙන්නේ නෑ. අපිට අවශ්‍ය තැනට අරගෙන යන්න. අපිට අවශ්‍ය දේ විකුණනන්න හදනවා. අසාධාරණ ගණන් කියනවා. මේවා පාලනය කළ යුතුයි. එහෙම නොකළොත් එන සංචාරකයන් සංඛ්‍යාත්මකව වැඩි වුණාට ලැබෙන මුදල අඩු වේවි.”
ගාල්ලේ දී අපට හමු වූ රචෙල් බැක්ස්ට් මෙසේ කීවේය.

“මම ආවේ එංගලන්තයේ ඉදලා. නිවාඩුවක් ගත කරන්න. ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්. මෙහේ මිනිස්සුත් හරිම සතුටින් හිනාවෙලා ඉන්නවා. අපි දින කිහිපයක් රටේ ප්‍රදේශ ගණනාවක ඇවිද්දා. රටේ පරිසරය, ඉතිහාසය, සංස්කෘතක දේවල්, හැමදෙයක් ම හරිම අපූරුයි. විශේෂයෙන් ම ගාල්ල කොටුව ඉතාමත් ආකර්ශණීයයි. මේ රට පාරාදීසයක් වගේ. අපි හිතනවා ශ්‍රී ලංකාවට අපේ රටෙන් වගේම වෙනත් රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණේවි. ඒ සඳහා රටේ මිනිසුන්ගේ සුහදශීලී බව ප්‍රධාන හේතුවක්. හැමෝම හිනාවෙලා සතුටින් ඉන්න බව පේනෙවා. මේ සංචාරය ගැන අපිට හරිම සතුටුයි.”
සංචාරක කර්මාන්තයේ දී වැඩිම අවධානයක් යොමුවන කරුණු අතර සංචාරකයන්ට විඳින්නට සිදුවන හිරිහැර සහ විවිධ ගැහැට ප්‍රමුඛ වේ. ඇතැම් අවස්ථාවල දී ඒවා පහරදීම්, සොරකම් කිරීම්, බියවැද්දවීම් පමණක් නොව ලිංගික අතවර පමණක් නොව ඝාතන දක්වාම දුරදිග යයි. එපමණක් නොව සංචාරයේ පැමිණ සංචාරකයෝ හදිසියේ ම මියයන අවස්ථා ද වාර්තා වෙයි.
මේ නිසා ම පොලිසියට සංචාරක කර්මාන්තයේ දී විශාල කාර්යභාරයක් පැවරෙයි. අපි ඒ පිළිබඳ ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ද සේරම්ගෙන් විමසූවෙමු.

“ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ආරක්ෂාව උපරිමයෙන් දීලා ඔවුන් ආරක්ෂිතව, සතුටින් නැවත ආපසු යැවීම අපේ පරම වගකීමක් වෙනවා. ඒ නිසා අපි පැය 24ම ආවරණය වන විදියට ගාල්ල දිසාවේ ජංගම සංචාර, මාර්ග බාධක, හෝටල් සහ කාමර සංචාර මුර සේවා අදිය යොදවා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක කමිටු මගින් අපරාධ සම්බන්ධ තොරතුරු ගන්නවා. හෝටල් හිමියන් සම්බන්ධ කරලා වට්ස්ඇප් ගෲප් සාදා දැනුම්වත් කරනවා. ඒ විතරක් නෙවෙයි සංචාරක කලාපවල සිවිල් ඇඳුමින් පවා අපි පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබෙනවා. ඒ නිසා ගාල්ල දිසාව තුළ අපිට සංචාරකයන්ට සිදුවන හිරිහැර සහ අපරාධ අවම කරගන්න පුළුවන්කම ලැබී තිබෙනවා.”
නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබාගන්නා බවයි. එමෙන් ම සිවිල් ආරක්ෂක බලකායෙන් ද සාමාජිකයන් 200ක් සංචාරක කලාපවල යොදවා ඇති අතර බුද්ධි අංශ නිලධාරීන් පවා නිරන්තර මෙම ප්‍රදේශවල සිය රාජකාරී අකුරට ම ඉටුකරමින් සිටියි.
සංචාරකයන්ට සේවාවන් පහසුවෙන් සැළසීම සඳහා බෙන්තොට, හික්කඩුව, ගාල්ල කොටුව සහ උණවටුණ සංචාරක පොලිසි ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයකි.
“පොලිසියට ඉස්සර එල්ලවෙච්ච ලොකු චෝදනාවක් තමයි විදේශිකයෙක් ආවම ඉංග්‍රීසි දන්නේ නෑ කියලා. නමුත් දැන් අපි ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් නිලධාරීන් මේ ස්ථානවලට යොදවා තිබෙනවා. නමුත් ඉංග්‍රීසි බැරි විදේශිකයන් ආවම ඒ ඒ භාෂාවල පරිවර්ථකයන්ගේ සහාය අරගෙන වැඩ කරගන්න වෙනවා.”
සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මුහුදේ දිය නෑමට ගොස් අනතුරට පත්වන විදේශිකයන් මෙන් ම දේශීය සංචාරකයන් ද වාර්තාවන බැවින් පොලිසිය ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබේ. පොලිස් ජීවිතාරක්ෂක පුහුණු කණ්ඩායම් සංචාරකයන් වැඩිපුර ගැවසෙන මුහුදු ප්‍රදේශවල ස්ථානගත කර ඇති අතර අනතුරුදායක ස්ථාන සළකුණු කර එම ස්ථානවලට ද ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සේවය සපයා තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් ඝෝෂාකාර ශබ්දය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සහ ඒ පිළිබඳ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටි අතර ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.
“මේක ඉතාමත් සංවේදී කාරණයක්. ආගමික ස්ථාන, උත්සව අවස්ථා, හෝටල් සහ එළිමහන් සාදවල ශබ්දය නිසා සංචාරකයන් ආපසු යනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ සියල්ල අපි පාලනය කළා. ඒ පාර්ශවවලට අපි උපදෙස් දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව සහ ඒ අනුව සැකසූ පොලිස්පති චක්‍රලේඛය අනුව යම් යම් සීමා දාලා තියෙනවා ඒ නිසා අපි ඒ සීමා ඉදිරියේ දී උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා කියලා. ඉස්සරහට ශබ්ද දූෂණය සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එවිට ගැටලු නිරාකරණය වේවි.”
ගාල්ල අද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. එය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන අතර, එම වටිනාකම් ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමකි.
ගුණාත්මක සංවර්ධනය, පරිසරය රැකගැනීම, සංචාරකයන් හමුවේ ගෞරවණීය ලෙස කටයුතු කිරීම සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් ගාල්ල සැබෑ සංචාරක පාරාදීසයක් බවට පත් කළ හැකි බව විශේෂඥයන්ගේ මතයයි.
(සිරංගිකා ලොකුකරවිට විසිනිි)



