27.3 C
Galle

බෝපේ පෝද්දල දූෂිත ඉඩම් ගනුදෙනුවකින්, කුණු ව්‍යාපෘතියක් කරනවා යැයි ජනතාවගේ විරෝධයක්

Published:

ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා පුද්ගලික ඉඩමක් මිල දී ගැනීමට එරෙහිව ගම්වාසීහු අද (20) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ මෙලෙස ඔවුහු උද්ඝෝෂණය කළහ.

උද්ඝෝෂණයේ නිරත වූ ගම්වාසීන් පවසන්නේ ප්‍රාදේශීය සභාව විසින් නිවාස සඳහා සුදුසු ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යාමෙන් ප්‍රදේශවාසීන්ගේ යහපත් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් සිදුවන බවයි.

එම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇත්තේ පුද්ගලික ව්‍යාපාරිකයකු විසින් කැබලි කර විකිණීමට යෝජනා කර තිබූ අක්කර කිහිපයක් විශාල ඉඩමකි. එම ඉඩම කැබලිකර විකිණීම සඳහා පාරිසරික අනුමැතිය නොලැබීම හේතුවෙන් එය විකණීම අත්හිටුවා තිබිණි. මේ අතර බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව එම ඉඩම අධික මුදලක් ගෙවා මිල දී ගෙන ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාව ඉටුකර දී ප්‍රදේශවාසීන් අසීරුතාවට පත්කරන බව උද්ඝෝෂකයෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රජයේ ඉඩම් තිබිය දී පුද්ගලික ව්‍යාපාරිකයකුට විකුණාගත නොහැකිව ඇති ඉඩමක් කෝටි ගණනක් ගෙවා මිල දී ගැනීමෙන් ප්‍රාදේශීය සභාවේ වත්මන් ජාතික ජන බලවේග පාලනය මහජන මුදල් ද අවභාවිතා කරන බවයි. එමෙන් ම එම ඉඩමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව ද ඔවුහු පෙන්වා දෙති.

සභාව අවසානයේ විරෝධතාකරුවන් හමුවූ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ලලනි ජයමිණි මහත්මිය පවසා සිටියේ අදාල ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සඳහා යොදා නොගැනීමට තීරණය කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!