ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේදී මෝරකුගේ පහරදීමකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වයස අවුරුදු 12ක දරුවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ Nico Antic නමැති දරුවාය. පසුගිය ජනවාරි 18 වැනි දින, මිතුරන් සමඟ මුහුදට පනිමින් ජල ක්‍රීඩා කරමින් සිටි අතරතුර, ඔහුට මෝරා පහරදීම සිදුව තිබේ. බලධාරීන් සැක කරන්නේ මෙම පහරදීම බුල් මෝරකු විසින් සිදු කර ඇති බවයි.
සිද්ධියෙන් පසු බරපතල පාද තුවාල ලබාගත් Nico, සිඩ්නි ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය අතිශය ගැටලුකාරී බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ. ශල්‍යකර්මයකින් පසු ඔහු කෘතිම කෝමාවක (induced coma) තබා ප්‍රතිකාර ලබාදෙමින් සිටියද, අවසානයේදී ඔහුට ජීවිතය අහිමි වී ඇත.
“Nico අපේ ජීවිතයේ ආලෝකයයි. ඔහු සතුටින්, මිත්‍රශීලීව, ක්‍රීඩාවට ඇලුම් කළ, ඉතා කරුණාවන්ත දරුවෙකි. ඔහු සදාකාලිකව අපි සිහිකරන්නේ ඒ සතුටු සිනාසෙන මුහුණින්මයි,” යැයි ඔහුගේ දෙමාපියන් වන Lorena සහ Juan Antic ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඔවුන් ආජන්ටිනාවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ පදිංචි වූ පවුලක් බවද වාර්තා වේ.
සිද්ධිය සිදුවූ අවස්ථාවේදී, Nicoට උදව් කිරීමට ඔහුගේ මිතුරන් ජලයට පැන ඔහු බේරා ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ද ජනතාවගේ ප්‍රශංසාව හිමිව තිබේ.
මෙම සිද්ධිය, දින දෙකක් ඇතුළත නව සවුත් වෙල්ස් වෙරළ තීරය ආශ්‍රිතව වාර්තා වූ මෝර පහරදීම් සිද්ධි හතරෙන් එකකි. එම සිද්ධි අතරින් තුනක් සිඩ්නි ප්‍රදේශයට ආසන්න වෙරළවලදී සිදුවී ඇත.
පසුගිය සඳුදා, සිඩ්නි උතුරු වෙරළ තීරයේදී සර්ෆ්කරුවෙකු මෝරකුට ආසන්නවීමෙන් තුවාල නොලැබී බේරී ගොස් ඇති අතර, එයට පැය කිහිපයකින් පසු, ආසන්න වෙරළකදී වයස අවුරුදු 27ක පුද්ගලයෙකුට මෝරකු පහරදී තුවාල සිදු වී ඇත. ඊට පසු දින, නව සවුත් වෙල්ස් ප්‍රාන්තයේ Mid North Coast ප්‍රදේශයේදී වයස අවුරුදු 39ක පුද්ගලයෙකුට මෝරකු පහරදී උරහිස ආසන්නයේ තුවාල සිදු වී රෝහල්ගත කර ඇත.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙම මෝර පහරදීම් සිදු වූයේ දින කිහිපයක් පුරා පැවති දැඩි වර්ෂාවෙන් පසුව බවයි. වර්ෂාව හේතුවෙන් ජලය ලවණ සහිත වීම, පෝෂක ද්‍රව්‍ය මුහුදට ගලා ඒම සහ මසුන් වෙරළට ළඟා වීම, බුල් මෝරන් වෙරළ ආසන්නයට පැමිණීමට හේතු වී ඇති බව ඔවුහු පවසති.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන්, සිඩ්නි නගරය ආශ්‍රිත වෙරළ තීර රැසක් තාවකාලිකව වසා දැමූ නමුත්, කාලගුණ තත්ත්වය යහපත් වීමත් සමඟ, ඕස්ට්‍රේලියා දිනය යෙදෙන දිගු නිවාඩු සතිඅන්තය සඳහා බොහෝ වෙරළ නැවත විවෘත කර ඇති බවද බලධාරීන් සඳහන් කරයි.


