29.4 C
Galle

ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට දෙන්න ගිය වසන්ත සමරසිංහට වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

Published:

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 05ක් වෙන ම සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සැල් හිමියන් විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ.

අධ්‍යක්ෂවරුන් 07 දෙනකු සිටින නව සමාගමක් ස්ථාපිත කර එම සමාගම යටතට රටේ ආර්ථික මධ්‍යස්ථාන 05ක් පත්කිරීම පිළිබඳ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවංර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානයේ දී පැවති රැස්වීමක දී මෙම විරෝධතාව එල්ල විය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම්ද සහභාගී විය.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙම ව්‍යාපාර තමන් වසර 35කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ආයතන බවයි. කිසිදු දැනුම්දීමක් නොමැතිව එක්වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත්කර තම වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන පාලනය කිරීමට කිසිසේත්ම ඉඩ නොදන බවත් ව්‍යාපාරිකයෝ කියා සිටියහ.

අමාත්‍යවරයා පවසන්නේ නව සමාගමක් ස්ථාපිත කරන්නේ ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කර ඉතා සාධාරණ වෙළෙඳ පොළක් ජනතාවට ලබාදීමේ අපේක්ෂාවෙන් බවයි. ඒ අනුව දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙම නව සමාගම යටත පත්කර ඒවායේ ලැබෙන මාසික බදු මුදල් පරිපාලන කටයුතු සියල්ල බන මාසයේ සිට මෙම සමාගම වෙත ගෙවිය යුතු බව අමාත්‍යවරයා පවසා තිබේ. මේ හේතුවෙන් ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අයිතිය කිසිසේත්ම අහිම නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේ වුව ද අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සමඟ වෙළෙඳ ප්‍රජාව එකඟවී නැත. ව්‍යාපාරිකයන් පවසන්නේ දැනට වසර 30කට වැඩි කාලයක් තිස්සේ ඉතාමත් ශක්තිමත් කළමනාකරණ භාරයක් තුළින් මෙම ආර්ථික මධ්‍යස්ථාන හොඳින් පවත්වාගෙන ආ බවයි. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා මින් පෙර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ලබා ගෙන ඇති සමාගම සඳහා වෙළෙඳ සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළ එම වෙළෙඳ ප්‍රජාව මෙහිදී අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ එම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ සමාගමේ නාමයද ඉතා සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇති බවයි.

මේ සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් ඔවුන් අමාත්‍යවරයා වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක කාලයක් තුළ රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකරමින් මේ වන විටත් කළමනාකරණ භාරයේ රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව ගොවි ජනතාවට පොලී රහිත ණය, බීජ ආදි එළවලු වගාව සඳහා වියදම් කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් එවැනි අවස්ථාවක කිසිදු ආකාරයෙන් නොදන්නා සමාගමකට තම අයිතිය ලබා දීමට සූදානම් නොමැති බවත් වෙළෙඳ ප්‍රජාව විසින් අමාත්‍යවරයාට පවසා තිබේ.

මේ සඳහා අමාත්‍යවරයාද ප්‍රති උත්තර ලබා දීමට සූදානම් වීමේදී ව්‍යාපාරිකයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක දඹුල්ලට පැමිණ මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් වෙත ලබා දෙන බව පැවසූ බවයි.

කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති සමාගම සහ වෙළෙන්දන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති වෙළෙඳ නාමය අතර පරස්පරතා පවතින බවයි.

මීට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලැබී ඇති සමාගමේ නාමය පසුව වෙනස් කළ බවත් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවයි.  

කෙසේ වෙතත් මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මේ පිළිබඳව තවදුරටත් සලකා බලා සමාගම සහ ව්‍යාපාරික ප්‍රජාව සමග එළැඹෙන ගිවිමසුම් ගැන සාකච්චා කිරීමට තමන් ඉදිරි දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!