29.4 C
Galle

ස්වභාවික ආපදාවලින් ආරක්ෂා වෙමු

Published:

ශ්‍රී ලංකාව දරුණු ස්වභාවික විපත් නොමැති සුරක්ෂිත දේශයක් ලෙස ප්‍රකට වුව ද වරින් වර හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බව පසුගිය දා රටේ දිස්ත්‍රික්ක තුනකට හැර අන් සියලු ප්‍රදේශවලට විශාල බලපෑමක් ඇති කළ “දිට්වා” සුළි කුණාටුවෙන් පැහැදිළි වෙයි.

එමෙන් ම 2004 වර්ෂයේ දෙසැම්බරයේ දී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වූ සුනාමි තත්වය ද එවැනි ම ස්වභාවික විපතකි.

ඒ අතරතු වරින් වර අඩු වැඩි වශයෙන් පොදු ජනතාවටත්, දේපළවලටත් හානි සිදුකළ, ගංවතුර, දැඩි සුළං, අකුණු අනතුරු සහ නායයාම් වාර්තා විය.

2024 සුනාමිය පැමිණීමෙන් පසු මෙරට ස්ථාපිත කෙරුණු ආපදා කළමනාකරණ පද්ධතිය මෙරට සිදුවන ආපදා අවම කිරීමට කොතෙක් දුරට ඵලදායී ලෙස යොදාගෙන තිබේ ද යන්න අදටත් ගැටලුවකි. එම හදිසි ආපදා අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රමවේදයන්හි දුර්වලතා පසුගිය දා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ඇස් පනාපිටම පෙනෙන්නට තිබිණි.

විශේෂඥයන් පවසන්නේ දිට්වා වැනි හදිසි ආපදා තත්වයකට එකවර මුහුණ දීමේ හැකියාවක් කිසිදු රටකට නොමැති බවයි. නමුත් එවැනි අවස්ථාවක දී ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීමට සැළැස්මක් තිබිය යුතුය. ඒ සඳහා ජනතාව දැනුම්වත් කර තිබිය යුතුය.

ඒ සඳහා ආපදා කළමනාකරණය ශක්තිමත් කළ යුතුය. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය ප්‍රතිපත්ති සකස් කරන අතරතුර ජනමාධ්‍ය මගින් කළ යුතු වන්නේ ජනතාව දැනුම්වත් කිරීමයි. ජනතාව ඒ සඳහා සුදුසු ආකාරයෙන් පෙළගැස්වීමයි.

ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළට සෑම පාර්ශවයක ම සහය ලැබෙන “ශක්තිමත්” ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ පැවතිය ද “නිවැරදි වේලාවට ජනතාව පූර්ව අනතුරු ඇඟවීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම,” ආපදා අවස්ථාවක දී බරපතල ගැටලුවක් බව පෙනෙන්නට තිබේ.

ස්වභාවික ආපදා නතර කිරීමට නොහැකි වුව ද ආපදා හේතුවෙන් ඇති වන අවදානම් අවම කර ගැනීමට, පෙර සූදානම අතිශය වැදගත් බව ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගන්නා කරුණකි.

ජනතාව ආපදා පිළිබඳව නිකුත් කෙරෙන පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරින්නේ නැතිව ඒවා පිළිගැනීමටත්, ඒ අනුව කටයුතු කිරීමටත් පෙළඹවීම සඳහා ආපදා කළමනාකරණ පද්ධතිය, ක්‍රියාවලිය සහ ජනතාව අතර විශ්වාසයක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ.

පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන ආකාරය මෙන් ම ඒවාට සවන්දිය යුතු ආකාරය පිළිබඳව ජනතාවට වඩා ත් හොඳ අවබෝධයක් ලබා දිය යුතු ය.

මේ මාධ්‍ය මෙහෙවර සඳහා Rata.Lk අපි සූදානම්. ඔබත් එකතු වී සිටින්න අපගේ සියලු ම මාධ්‍ය අවකාශ සමඟ වෙබ් අඩවිය, Facebook, TikTok, Youtube, Instagram ආදී සියලු මාධ්‍ය අවකාශයන් තුළින් ශ්‍රී ලාංකික ජනතාව ආපදා සම්බන්ධයෙන්, ආපදාවලින් වැළකී සිටින ආකාරය පිිළිබඳ මෙන්ම ආරක්ෂාවන ආකාරය පිළිබඳවත් දැනුමවත් කිරීමට අප සූදානම්.

මේ එහි මූලාරම්භයයි.

ආපාදා පිළිබඳ දැනුම්වත් වෙන්න, ආපදා හඳුනාගන්න, ආපදාවලින් වැළකී සිටින්න, ඔබේ ජීවිත සහ දේපළ රැකගන්න. අවශ්‍ය දැනුම ලබන්න රැඳී සිටින්න අප සමඟ

RataLK

Related articles

Recent articles

error: Content is protected !!