29.4 C
Galle

රිච්මන්ඩ් සිසුවාගේ මානව අයිතිවාසිකම් කැඩූ, විදුහල්පතිට සහ ගුරුවරුන්ට අධිකරණයෙන් දඬුවම්

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකුගේ මානව අයිතීන් කඩකිරීමේ චෝදනාවකට වරදකරු වූ එම පාසලේ වැඩබලන විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ පිරිසකට අදාළ සිසුවාට වන්දි සහ නඩු ගාස්තු ගෙවන ලෙස ගාල්ල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් නියෝග කළේය.

වාර්ෂිකව පැවැත්වෙන රිච්මන්ඩ් – මහින්ද විවාදය සඳහා සිසුන් තෝරාගැනීමේ දී අසාධාරණයක් සිදු වීමෙන් මානව අයිතිවාසිකම් කඩ වී ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි. එම නඩුව විභාගයට ගත් අධිකරණය තීරණය කළේ පෙත්සම්කාර සිසුවාට රුපියල් 25,000.00ක වන්දියක් සහ නඩු ගාස්තු ලෙස රුපියල් 5,000.00ක් ද පළමු විත්තිකාරිය විසින් ගෙවිය යුතු බවයි. අනෙකුත් විත්තිකරුවන් ද එම සිසුවාට රුපියල් 10,000.00 බැගින් වන්දි ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. එමෙන් ම එහි ඉදිරි කටයුතු සඳහා නඩු තීන්දුවේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවීමට ද රෙජිස්ට්‍රාර්වරියට  නියෝග කළේය.

මෙම පෙත්සම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පණතේ 5(1) ඇ වගන්තිය යටතේ (1) ප්‍රකාරව අගතියට පත් වූ සිසුවා වන මිහින් මන්රුස ඈපා වෙනුවෙන් ඔහුගේ පියා ඈපා අරුණ ශාන්ත යන අය පෙත්සම ඉදිරිපත්කර  තිබු අතර  පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විවාද කණ්ඩායම බාර ගුරුවරියවු ඩබ්ලිව්.යූ.ජී.ජිවන්ති, සහකාර විදුහල්පති තිලකා විජේනායක, එම්.එච්.එස්.වික්‍රමනායක, කේ.අයි.ඩි.රත්නවිර, එන්.එන්.හේමාලි, වැඩබලන විදුහල්පති රුසිර සිරිනුවන් මද්දුමහේවා යන පිරිස නම්කර තිබිණි.

පෙත්සම් කාර සිසුවා බාල වයස්කරුවෙකු බැවින් සිසුවා වෙනුවෙන්  පියා  ප්‍රකාශකර සිටියේ තමාගේ වැඩි මහල් පුතා ගාල්ල රිච්න්ඩ් විදුහලේ පළමුවන ශ්‍රේණියට 2013 වසරේ ඇතුලත් කරනු ලැබු අතර මේ වනවිට එම විදුහලේ 12 ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබමින් සිටින බවයි. තම පුතා විදුහලේ කණිෂ්ට ඉංග්‍රිසි විවාද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ලද අතර පසුව රිච්මන්ඩ් විදුහල හා  මහින්ද විදුහල අතර  සුහද ඉංග්‍රිසි විවාදයේදි රිච්මන්ඩ් විද්‍යාලිය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල බව ද පෙත්සම්කාර පියා කියා සිටියේය.

පෙත්සම්කරු වැඩි දුරටත් කියා සිටියේ මේ වනවිට තම දරුවා විද්‍යාලිය මාධ්‍ය ඒකකයේ ප්‍රධාන ඉංග්‍රිසි නිවේදකයෙකු ලෙස කටයුතු කරන බවයි. මේ අතර විවාද කණ්ඩායම බාර ගුරුවරිය 2024 අගෝස්තු මස විශ්‍රාම ගැනිමෙන් පසු 2024 සැප්තැම්බර් සිට පළමුවන වගඋත්තරකාරියට ඉංග්‍රිසි විවාද කණ්ඩායමේ   භාරකාරිත්වය පැවරුණු බවත් ඇය එම කණ්ඩායම බාරගත් දින සිට තම පුතාට චේතනාන්විතව ඕනෑකමින් නොසලකා හරිමින් අන් අය ඉදිරියේ අවමන් කිරිම කරණ කොටගෙන ඔහු බලවත් මානසික ව්‍යාකූලතාවයකින් පෙලෙන බවත් මෙම තත්වය ඇතිවුයේ පළමුවන වගඋත්තරකාර ගුරුවරියට මෙම තනතුර ලබාදිමෙන් පසුව බවත් පෙත්සම්කාර පියා අධිකරණය හමුවේ කියා සිටියේය.

රිච්මන්ඩ් මහින්ද 2024 ඉංග්‍රිසි විවාදයේදි රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කල එමෙන්ම කණිෂ්ඨ අංශයේ  ඉංග්‍රිසි විවාද කණ්ඩායමේ නායකයාව සිටි දරුවා ද්වේශ සහගත ලෙස නොසළකා හරිමින් හා කිසිදු දැනුවත් කිරිමකින් තොරව  ඇයට පක්ෂපාති හා මහා විවාදයකට හෝ සහභාගිවි නොවුන කණිෂ්ඨ සිසුන් කිහිප දෙනෙකු ඇතුලත්කර ඇති බවත් 2025 පෙබරවාරි 28 වන දින WhatsApp ජාලයේ පණිවුඩයක් නිකුත් කරමින් තෝරාගැනිමේ විවෘත පරික්ෂණය සදහා නිර්නායකයක් ලෙස පැමිණිම අනිවාර්යයෙන්ම සළකා බලන බවත් එසේ නොපැමිණි කිසිවෙකුත් මෙම තෝරා ගැනිමට සුදුසුකම් නොලබන බව දන්වා ඇති බවත් එහෙත් පැමිණිම තහවුරු කරණ කිසිදු සිසුවෙකුගේ අත්සන් ලේඛනයක් නෙමැති බවත් පෙත්සම්කරු කියා සිටියේය.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය  කරණ කොටගෙන දරුවා නොසළකා හරිනු ලැබිමෙන් අවමන් කිරිමෙන් මානසික අපයෝජනයකට ලක්කිරිම තුලින් මානව අයිතිවාසිකම් කඩවි ඇති බවට තීරණය කරණ ලෙසත් එයට අමතරව අධිකරණයට මැනවයි හැඟෙන වෙනත් සහන ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියේය.

නිතිඥ ඈපා අරුණ ශාන්ත මහතාගේ උපදෙස් අනුව ධම්මික පෙරේරා, සසික සිලාන්, චින්තා ජිවන්ති යන නිතිඥවරු පෙත්සම්කරු වෙනුවෙන්  අධිකරණයේ කරුණු දැක්වූහ.

Related articles

Recent articles

error: Content is protected !!