ඉන්දියාවේ ඊසාන දිග මෙඝාලය ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් මිනිසුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. තවත් එක් පුද්ගලයෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් කම්කරුවන් කිහිපදෙනෙකු පතල තුළ සිරවී සිටින බවට සැක පළ කෙරේ.
මෙම අනතුර බ්‍රහස්පතින්දා පෙරවරු 11.00ට පමණ මෙඝාලය ප්‍රාන්තයේ East Jaintia Hills ප්‍රදේශයේ, අගනගරය වන ශිලොන්ග් නගරයෙන් කිලෝමීටර් 72ක් දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයක සිදුවී ඇත.
මෙඝාලය ප්‍රාන්ත පොලිස් අධිකාරී විකාශ් කුමාර් මාධ්‍ය වෙත පැවසුවේ, මෙම අනතුර “rat-hole mining” ලෙස හඳුන්වන අතිශය අවදානම් ගල් අඟුරු කැණීමේ ක්‍රමය හේතුවෙන් සිදුවී ඇති බවට සැක කරන බවයි. මෙම ක්‍රමය යටතේ ඩයිනමයිට් භාවිත කර ඉතා සීමිත පළලක පතල් කුහර විවෘත කර, කම්කරුවන්ට වාඩිවී ගල් අඟුරු කැණීමට සිදුවේ.
පිපිරීම පතල ඇතුළත සිදුව ඇති අතර, එය ඩයිනමයිට් භාවිතය හේතුවෙන් ඇතිවූවක් බවට පොලීසිය සැක පළ කරයි. මේ වන විට සිරුරු 18ක් සොයාගෙන ඇති අතර, දැඩි පිළිස්සුම් තුවාල ඇති පුද්ගලයෙකු ශිලොන්ග් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, පතල තුළ තවත් කම්කරුවන් කීදෙනෙකු සිරවී සිටිනවාද යන්න තවමත් පැහැදිලි නොවන බව පොලීසිය පවසයි.
මෙම නීති විරෝධී පතල පවත්වාගෙන ගිය පුද්ගලයන් කවුද යන්න තවමත් හඳුනාගෙන නොමැත. මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවයද තවම තහවුරු කර නොමැත.
මෙඝාලය ප්‍රාන්ත මහ ඇමති කොන්රාඩ් සංග්මා ප්‍රකාශයක් නිකුත් කරමින්,
“වගකීම තහවුරු කර, වගකිවයුතු පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගන්නා බව” පැවසීය.
මෙම අනතුරෙන් මියගිය බොහෝදෙනා අසල්වැසි අසම් ප්‍රාන්තයේ පදිංචිකරුවන් බවට තොරතුරු ලැබී ඇති බවත්, එය තහවුරු වුවහොත් අසම් ප්‍රාන්ත රජය විසින් පවුල්වලට සහාය ලබාදෙන බවත් අසම් මහ ඇමති හිමන්ත බිශ්වා සර්මා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මියගිය පුද්ගලයෙකුට රුපියල් 200,000ක් සහ තුවාල ලැබූ පුද්ගලයාට රුපියල් 50,000ක් ලෙස මූල්‍ය සහාය ප්‍රකාශයට පත් කර ඇත.
මෙඝාලය ප්‍රදේශයේ rat-hole mining ක්‍රමය 2014 වසරේදී ජාතික පාරිසරික විනිශ්චය මණ්ඩලය (National Green Tribunal) විසින් තහනම් කර තිබුණද, එම තහනම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර තිබුණද, නීති ක්‍රියාත්මක කිරීමේ අසාර්ථකත්වය හේතුවෙන් නීති විරෝධී ගල් අඟුරු කැණීම් තවදුරටත් සිදුවන බව ක්‍රියාකාරීන් පෙන්වා දෙති.
“අඩි හතර හෝ පහක් පමණ උසක කුහරවලට මිනිසුන් වාඩිවී ගල් අඟුරු කැණීම අතිශය අනතුරුදායකයි,” යැයි නීති විරෝධී පතල්වලට එරෙහිව දිගු කාලයක් කටයුතු කරන ක්‍රියාකාරිනියක වන ඇග්නස් කාර්ෂීං සඳහන් කළාය.
ඉහළ ගල් අඟුරු ඉල්ලුම, දරිද්‍රතාවය, දුරස්ථ ප්‍රදේශවල නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාව සහ දේශපාලන ආරක්ෂාවන් යන කරුණු හේතුවෙන්, ආරක්ෂිත උපකරණ රහිතව නීති විරෝධී ගල් අඟුරු කැණීම් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම දිගටම සිදුවෙමින් පවතින බව විවේචකයෝ පෙන්වා දෙති.


