29.4 C
Galle

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට

Published:

පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි. තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ සිකුරාදා නමස්කාරය සඳහා විශාල පිරිසක් එක්රැස් වූ අවස්ථාවේදී, ඉස්ලාමාබාද් නගරයේ ටර්ලායි (Tarlai) ප්‍රදේශයේ පිහිටි Khadijatul Kubra Mosque අසලදීය.

පොලීසිය පවසන්නේ, මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදු කර ඇති බවයි. සැකකරුවා පල්ලියට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂකයන් විසින් නවතා දැමූ අවස්ථාවේදී බෝම්බය පුපුරුවා හැර ඇති බව පොලිස් නිලධාරීන් සඳහන් කරයි.

පිපිරීමෙන් පසු පල්ලිය සහ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, විමර්ශකයෝ සාක්ෂි රැස් කරමින් සිටිති.

මෙම අනතුරෙන් පසු ඉස්ලාමාබාද් සහ අසල්වැසි රාවල්පින්ඩි නගරවල ප්‍රධාන රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව බලධාරීහු පවසති. රෝහල් කිහිපයකම ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර තබා ඇති බවද සඳහන් වේ.

සිද්ධිය ඇසින් දුටු පල්ලියේ භාරකරු වන සයීද් අෂ්ෆාක් මාධ්‍ය වෙත පැවසුවේ,
“මගේ නිවස පල්ලියට ඉතා ආසන්නයි. වෙඩි හඬ ඇසුණා. ගැටලුවක් වෙලා ඇති කියලා හිතලා දුවගෙන ගියා. එතනට යනවිටත් පිපිරීම සිදුවෙලා තිබුණා. ශරීර කොටස් වෙන්වුණු මිනිසුන් හැමතැනම හිටියා,” යනුවෙනි.

“අපි වාහන වලින් දැඩි ලෙස තුවාල ලැබූ අය රෝහල් වෙත ගෙන ගියා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළාය.

පකිස්තානයේ පන්ජාබ් පළාත් ප්‍රධාන අමාත්‍යවරිය වන මරියම් නවාස් ශරීෆ් සමාජ මාධ්‍ය X හරහා ප්‍රකාශයක් නිකුත් කරමින්, රාවල්පින්ඩි දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සූදානම් කර ඇති බව සඳහන් කළාය. එසේම, හදිසි වෛද්‍ය සහ ශල්‍ය කණ්ඩායම් සූදානම්ව සිටින බවද ඇය පැවසුවාය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානයේ ජනාධිපතිවරයා දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින්,
“නිරාපරාධ සිවිල් ජනතාව ඉලක්ක කරගැනීම මානව වර්ගයට එරෙහි අපරාධයකි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරය, පකිස්තානය තුළ ආගමික ස්ථානවල ආරක්ෂාව, සුළුජන කොටස් වල අයිතිවාසිකම් සහ ජීවිතයට ඇති මූලික අයිතිය (Right to Life) සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න නැවතත් මතු කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!