27.2 C
Galle

rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය

Published:

rata.lk වෙබ් අඩවියේ නිර්මාතෘ සජීව විජේවීර, හදවත් සැත්කමක් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය මාර්තු 07 වන දින හදිසියේ අභාවප්‍රාප්ත වූ බව පාඨකයන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු.

මෙය අප පවුලට පමණක් නොව, වගකිවයුතු මාධ්‍යවේදය, සත්‍ය තොරතුරු සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ මාධ්‍ය අවකාශයටද සිදු වූ දැවැන්ත අහිමිවීමකි.

සජීව විසින් ආරම්භ කරන ලද rata.lk වෙබ් අඩවිය, හුදෙක් පුවත් වාර්තාකරණයක් පමණක් නොව, සත්‍යය සොයන, බලය ප්‍රශ්න කරන සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට උත්සාහ කළ ප්‍රබල මාධ්‍ය වේදිකාවක් විය. තොරතුරු ජනතාවට අයිති බවත්, බලයට වගකීමක් ඇති බව සහ මාධ්‍යය නිදහස වගකීමකිින් යුතුව භාවිතා කළ යුතු බවත් ඔහුගේ දෘෂ්ටිය විය.

සත්‍යය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ඇරඹූ මෙහෙයුම දිගටම

මෙම ගමන ඔහු තනිව නොව, අප – ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා, සමඟ සහයෝගී ආයතන කිහිපයක උපකාර ඇතිව පවත්වාගෙන ගියෙමු.

අද, ඔහුගේ අභාවයත් සමඟ, අප මුහුණ දෙන අහිමිවීම පුද්ගලිකව ද ගැඹුරු දරාගත නොහැකි එකකි. නමුත්, ඔහු ආරම්භ කළ මෙහෙයුම නවතා දැමීම යනු, ඔහුගේ විශ්වාසය සහ වටිනාකම් අත්හැර දැමීමක් බව අප තරයේ විශ්වාස කරමු.

එබැවින්,

සජීවගේ ජීවිතය නවතින නමුත්, ඔහුගේ හඬ rata.lk හරහා තවදුරත් ව්‍යාප්ත කරන බව අප සහතික කරමු. එසේම මාධ්‍ය නිදහස, ජනතා අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඔහු ආරම්භ කළ මෙහෙයුම, අපට හැකි උපරිමයෙන් ඉදිරියට ගෙන යාමට කැපවන බව මෙයින් ප්‍රකාශ කරමු.

මෙය ඔහුට සිදුකරන උපහාරයක් පමණක් නොව, අප මත පැවරෙන වගකීමක් ලෙසද අප අවබෝධ කරගෙන ඇති හෙයින් rata.lk වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා, පාඨක ඔබගේ විශ්වාසය හා අඛණ්ඩ සහයෝගය අප වෙත ලැබෙනු ඇතැයි අප අපේක්ෂා කරමු.

ඔහුට කළ හැකි වඩාත්ම ගෞරවය වන්නේ, ඔහු ආරම්භ කළ වැඩපිළිවෙල නවතා නොදමා, ඔහුගේ දැක්මට අනුව එය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමයි.

Related articles

Recent articles

error: Content is protected !!