මෙරට දැනට පවතින ඉන්ධන අර්බුධය මධ්‍යයේ සමාජ වගකීම පෙරදැරි කරමින්, ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟයට සමඟාමීව සංවිධානය කිරීමට නියමිතව තිබූ “Parade of the Golds” රථ පෙළපාලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.
මෙම රථ පෙළපාලිය හෙට (18) දින ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශ ආවරණය කරමින්, වාහන විශාල ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ඉන්ධන භාවිතය සීමා කිරීමේ අවශ්‍යතාවය හා රටට ආදර්ශයක් ලබාදීමේ අරමුණ මූලික කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිළ නිවේදනයේ දැක්වෙන්නේ, ලෝක ව්‍යාප්ත අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. එමඟින් ජනතාවට ඇතිවන පීඩාව අවම කර ගැනීම සඳහා, මහජනතාවට අමතර බරක් වන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම වැදගත් බවද ඔහු අවධාරණය කර තිබේ.
එමෙන්ම, “රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සංග්‍රාමය” ලෙස ජනප්‍රිය මෙම මහා ක්‍රිකට් තරඟය, එහි සම්ප්‍රදායන්ට හානියක් නොවන පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු සහාය ලබාදීමට සංගමය සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ගාලු ජනතාව අතර දිගුකාලීන සම්ප්‍රදායක් ලෙස පැවති මෙම රථ පෙළපාලි, දෙවිදුහල් අතර මිත්‍රත්වය හා උණුසුම ප්‍රකාශ කරන ප්‍රධාන අංගයක් ලෙස සැලකේ.
කෙසේ වුවද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද රථ පෙළපාලිය, අද (17) දින ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් සුපුරුදු පරිදි පැවැත්විණි.


