28.2 C
Galle

විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්

Published:

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද(19) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දී තිබේ.

මෙම යෝජනාව, විපක්ෂ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ තවත් විපක්ෂ නියෝජිත පිරිසක් මෙම යෝජනාවට අත්සන් කර ඇති බවද සඳහන් වේ.

විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ, නොරොච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු පයීම සහතික කිරීම අමාත්‍යවරයාගේ මූලික වගකීමක් වන අතර, එම වගකීම ඉටු කිරීමට අසමත් වීම මගින් ජාතික වැදගත්කමක් ඇති බලශක්ති සම්පතක් පිළිබඳ අධීක්ෂණයේ දැවැන්ත නොසලකාහැරීමක් සිදු වී ඇති බවයි.

එමෙන්ම, ලංකා පොහොර සමාගමේ සැපයුම් කළමනාකරුවෙකු ලෙස සේවය කළ සමයේදී “දූෂණ ක්‍රියාවක්” සිදු කළ බවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරී ඇති බවද යෝජනාවේ සඳහන් කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී උණුසුම් විවාදයක් ඇතිවීමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related articles

Recent articles

error: Content is protected !!