ඉරානයේ යුධ තත්ත්වය අතරතුර ලෝක තෙල් වෙළඳපොළ දැඩි කම්පනයට ලක්ව ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ යාම ගෝලීය ආර්ථිකයට බරපතළ ආතතියක් ඇති කර තිබේ. නමුත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙයට අමතරව තවත් නිශ්ශබ්දව මතුවන, එහෙත් ඉතා භයානක අර්බුදයක් ද ඇති බවයි.
එය වන්නේ ලෝක ආහාර සුරක්ෂිතතාවයට බලපාන පොහොර හිඟයයි.
හෝර්මුස් සන්ධිය – ලෝක බලශක්ති හා පොහොර ජීවනාලියයි
ලෝකයේ තෙල් හා ගෑස් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහාය. ඉරානයේ බලවත් හමුදා සංවිධානයක් වන Islamic Revolutionary Guard Corps (IRGC) හි ප්‍රධාන උපදේශක ඉබ්‍රාහිම් ජබාරි විසින් එය “වසා දමා ඇති” බව ප්‍රකාශ කිරීමෙන් ලෝක වෙළඳපොළ දැඩි කම්පනයකට ලක්විය.
මෙම තත්ත්වය තෙල් වෙළඳපොළට පමණක් නොව, පොහොර සැපයුමටද ඒකසේ බලපෑම් ඇති කරයි. ගල්ෆ් කලාපයෙන් ලෝක පොහොර සැපයුමෙන් 20%ක් පමණ ලැබෙන අතර, යුරියා සැපයුමෙන් 46%ක් ද එම කලාපයම සැපයීම විශේෂත්වයකි. කටාර් යූරියා සමාගම පමණක් ලෝක යුරියා සැපයුමෙන් 14%ක් සපයයි.
මිල ඉහළ යාම – කෘෂිකර්මයට දැඩි බලපෑමක්
පසුගිය සතිය වන විට, මැදපෙරදිග යුරියා මිල ටොන් එකකට ඩොලර් 500ට අඩු මට්ටමේ සිට ඩොලර් 700ට ආසන්න මට්ටමක් දක්වා ඒනම් 40%කින් ඉහළ ගොස් ඇත. පසුගිය වසරට සාපේක්ෂව එය 60%කට ආසන්න ඉහළ යාමකි.
දත්ත විශ්ලේෂණ සමාගමක් වන Kpler විසින් සිදු කළ විශ්ලේෂණයකට අනුව පවසන්නේ හෝර්මුස් සන්ධිය දිගටම වසා දැමුවහොත් ලෝක පොහොර වෙළඳාමෙන් තුනෙන් ඒකක් පමණ කඩා වැටීමට ඉඩ ඇති බවයි.
වැඩිම බලපෑමට ලක්වන්නේ කවුද?
ආසියානු රටවල් මෙම අර්බුදයෙන් වැඩිම අවදානමට ලක්වෙයි. 2024 දත්ත අනුව, ගල්ෆ්හි යුරියා අපනයනයෙන් 35%ක්, සල්ෆර් අපනයනයෙන් 53%ක්, හා ඇමෝනියා අපනයනයෙන් 64%ක් ආසියානු රටවලට යවා ඇත.
විශේෂයෙන්ම ඉන්දියාව, බ්‍රසීලය සහ චීනය වැනි ලෝකයේ ප්‍රධාන ආහාර නිෂ්පාදක රටවල් මෙම පොහොර සැපයුම මත දැඩි ලෙස රඳා පවතී.
ඉන්දියාව පමණක් මැදපෙරදිගින් තම යුරියා හා පොහොර අවශ්‍යතාවයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා අතර, බ්‍රසීලය සම්පූර්ණයෙන්ම ආනයන මත රඳා පවතින රටක් වේ.
වපුරන සමයේ මතුවන අර්බුදය
මෙම තත්ත්වය වඩාත් භයානක වන්නේ, එය උතුරු අර්ධගෝලයේ වපුරන සමය (පෙබරවාරි මැද සිට මැයි මුල් දක්වා) අතරතුර සිදුවීමයි.
පොහොර නොමැතිව වගා කිරීමෙන් අස්වැන්න දැඩි ලෙස අඩුවන අතර, සමහර ගොවීන්ට පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමටද සිදුවනු ඇත.
ලෝක ආහාර සුරක්ෂිතතාවයට ඇති අවදානම
මෙම අර්බුදය දිගටම පැවතුණහොත්, ලෝකයේ මූලික ආහාර වන සහල්, තිරිඟු, බඩ ඉරිඟු, සෝයා බෝංචි අඩුවීමේ අවදානමක් ඇත. එය ගෝලීය ආහාර සැපයුම සීමා කරමින්, මිල ඉහළ යාමටත්, ආනයන මත රඳා පවතින රටවල ආහාර හිඟ තත්ත්වයන්ටත් හේතු විය හැක.
ඉතින්, හෝර්මුස් සන්ධිය වටා ඇති යුධමය ආතතිය, බලශක්ති අර්බුදයක් පමණක් නොව, ලෝක ආහාර පද්ධතියම කම්පනයට ලක්කරන “නිශ්ෂබ්ද විපතක්” බවට පත්වෙමින් තිබේ.


