පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකින්, මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකළ බවට සැක කෙරෙන විදේශීය ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම ඊයේ (24) රාත්‍රියේ පෝද්දල ප්‍රදේශයේදී සිදුකර ඇති අතර, සැකකරුවන් අතර චීන හා වියට්නාම් ජාතිකයින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සිටින අතර, ඔවුන් සන්තකයේ තිබූ පරිගණක 08ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 84ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුම බූස්ස හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, හමුදාව සහ ගාල්ල පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකර තිබේ.
පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, සැකකරුවන් ගාල්ල ගොඩකන්ද ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් කුලී පදනම මත ලබාගෙන, එය මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ජාවාරම් සිදුකර ඇති බවයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෝද්දල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මෙම ජාලය පිටුපස ඇති විශාල සංවිධානය පිළිබඳවද තොරතුරු සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.


