ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නඩු තීන්දුව තාක්ෂණික සමාගම්වලට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
මෙටා සමාගම ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සැඟවූ බවත්, තම සමාජ මාධ්‍ය වේදිකා හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු කළ බවත් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ රාජ්‍යයේ ජූරි මණ්ඩලයක් තීරණය කරමින් ඩොලර් මිලියන 375ක දඩයක් නියම කර තිබේ.
සති හතකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇති අතර, මෙය තාක්ෂණික සමාගම්වලට එරෙහිව රජයන් ගන්නා ක්‍රියාමාර්ග තවදුරටත් දැඩිවීමක් ලෙස සැලකේ.
සමාජ මාධ්‍ය වේදිකා සහ චෝදනා
මෙටා සමාගමට අයත් ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි වේදිකාවලින් ළමුන්ට ඇතිවිය හැකි අවදානම් පිළිබඳව සමාගම දැනගෙන සිටියත්, ඒවා නිසි ලෙස පාලනය නොකළ බවට චෝදනා එල්ල වී තිබුණි.
අධිකරණයේදී රජයේ පාර්ශවය පෙන්වා දුන්නේ, සමාගම ආරක්ෂාවට වඩා ලාභය ප්‍රමුඛ කර ගෙන කටයුතු කළ බවත්, ළමුන්ගේ අසරණත්වය සහ අත්දැකීම් හිඟය අයුතු ලෙස භාවිතා කළ බවත්ය.අ
ජූරි මණ්ඩලය විසින් මෙටා සමාගම “අසාධාරණ සහ අනුචිත වෙළෙඳ ක්‍රියාවන්” සිදු කළ බවට එකඟ වී ඇති අතර, වැරදි හෝ මගහැරවෙන තොරතුරු ලබාදුන් බවද පිළිගෙන ඇත.
මෙම නඩුවේදී දහස් ගණනක් උල්ලංඝනයන් සනාථ කර ඇති අතර, එක් එක් උල්ලංඝනයකට උපරිම ඩොලර් 5,000ක දඩයක් ලෙස ගණනය කරමින් සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 375ක් ලෙස නියම කර ඇත.
තීන්දුවෙන් පසු තත්ත්වය
මෙම තීන්දුවෙන් පසු වහාම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වෙනස් කිරීමට සමාගමට බල නොකරන අතර, එය සිදු වන්නේ අධිකරණය විසින් ඉදිරි අදියරේදී ගනු ලබන තීරණ මතය. එම අදියර මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය.
මෙටා සමාගම මෙම තීන්දුවට එකඟ නොවන බවත්, එය අභියාචනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබේ. සමාගම පවසන්නේ, තම වේදිකාවන් ආරක්ෂිත කර ගැනීමට විවිධ පියවර ගෙන ඇති බවත්, අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමට උත්සාහ කරන බවත්ය.
මෙම නඩු තීන්දුව තාක්ෂණික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර දැඩිවෙමින් පවතින බව පෙන්වන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සමාගම් වගකීම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය මෙය මගින් තවත් පැහැදිළි වී ඇත.


