34.4 C
Galle

හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්

Published:

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් ගන්නා නෞකා සඳහා ආරක්ෂාව සැපයීම වෙනුවෙන් විශේෂ ගාස්තුවක් අය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව විසින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව වාර්තා වේ.

අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය උපුටා දක්වමින් නම හෙළි නොකළ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම සැළසුම ලබන සතිය වන විට අවසන් කිරීමට නියමිත බවයි.

මෙම නව පියවර පිළිබඳව අදහස් දක්වමින් අදාළ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට ඇති ස්වෛරීභාවය, පාලනය සහ අධීක්ෂණය නීතියෙන් විධිමත්ව පිළිගැනීමටත්, ඒ හරහා අය කෙරෙන ගාස්තු මගින් රටට නව ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමටත් ඔවුන් එම යෝජනාව හරහා බලාපොරොත්තු වන බවයි.

මෙම අර්බුදයේ ප්‍රධාන බලපෑම් ලෙස නාවික ගමනාගමනය අඩාල වීම, ඛනිජ තෙල් නිෂ්පාදනයට සහ පිරිපහදු වලට හානි සිදුවීම සහ ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට ගමන් කිරීම දැක්විය හැකිය.

මැදපෙරදිග යුද්ධය සිය සිව්වන සතියට එළඹෙමින් පවතින පසුබිමක මෙම තීරණය ගෙන ඇත. ලෝකයේ සමස්ත ඛනිජ තෙල් සැපයුමෙන් පහෙන් එකක් (20%) පමණ ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය මේ වන විට තෙල් ප්‍රවාහන නෞකා සඳහා සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇත. වර්තමානයේ එයින් ගමන් කිරීමට හැකිවී ඇත්තේ චීන සහ ඉරාන සබඳතා සහිත නෞකා කිහිපයකට පමණි.

සමුද්‍ර සන්ධියේ ඇතිවී තිබෙන බාධා කිරීම් හේතුවෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු අනිවාර්යයෙන්ම අත්හිටුවීමට (forced shut-ins) සිදුවී තිබේ. එපමණක් නොව, පවතින යුධමය තත්ත්වය හේතුවෙන් කලාපයේ ඇති තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසකට ද දැඩි හානි සිදුවී ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වයෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ සතිය මුලදී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 සීමාව ඉක්මවා ගියේය. තවද, බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ ගියහොත් ඉන් ආර්ථිකයට ඇතිවිය හැකි දැඩි බලපෑම පිළිබඳව ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මේ වන විටත් අධ්‍යයනය කරමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!