27.6 C
Galle

පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට

Published:

අනවසරයෙන් පෙට්‍රල් ලීටර් හතරක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ 48 හැවිරිදි පුද්ගලයෙකුට දින 21ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා අද (26) නියෝග කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි බී.එම්. ලසන්ත කුමාර බාලසූරිය නැමැති අයෙකුටය.

කොබෙයිගනේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ 1979 අංක 34 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවය. එහිදී තමන්ට එරෙහිව තිබූ චෝදනාවට සැකකරු වරද පිළිගත්තේය.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ උදයංග අතපත්තු මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පෙට්‍රල් ලීටර් 4 ළඟ තබාගෙන සිටියේ ජාවාරම් කිරීමේ අරමුණින් නොවන බවයි. එළැඹෙන 29 වැනිදා සැකකරුගේ නිවසේ පැවැත්වීමට නියමිත දානමය පින්කමක් වෙනුවෙන් වත්ත පිටිය පිරිසිදු කිරීමට අවශ්‍ය තණකොළ කපන යන්ත්‍රයට යෙදීම සඳහා මෙම ඉන්ධන තබාගෙන සිටි බව නීතිඥවරයා පැවසීය. එම පින්කම පැවැත්වෙන බව තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් නිකුත් කළ සහතිකයක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අදාළ පනත ප්‍රකාරව පාරිභෝගිකයෙකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීමේ අයිතියක් පැවතියද, ළඟ තබා ගත හැකි නිශ්චිත ප්‍රමාණය පනතේ සඳහන් කර නොමැති බැවින් මෙලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පවතින බව ද විත්තියේ නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, සැකකරු විසින් වරද පිළිගැනීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම දඬුවම නියම කිරීමට පියවර ගත්තේය.

Related articles

Recent articles

error: Content is protected !!