25.4 C
Galle

කීරි සම්බා සහ සම්බා රටින් ගෙන්වන්න වෙයි

Published:

එළඹෙන උත්සව සමයේදී වෙළඳපොළේ ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රට තුළ පවතින සහල් හිඟය සහ ඇතැම් සහල් වර්ග ‘කළුකඩ මිලට’ විකිණීම පාලනය කිරීම සඳහා රජය මෙම තීරණයට එළඹ ඇති බවයි.

රටේ දැනට හිඟතාවයක් පවතින ආහාර සහ ධාන්‍ය වර්ග හඳුනාගෙන ඒවා ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව මේ වන විටත් තීරණය කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම බරපතල ගැටලුවක් වී ඇති බවත්, ඒ පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයාට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සහ සාධාරණ මිලකට ලබාදීම සඳහා රජය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහිදී සහතික විය.

Related articles

Recent articles

error: Content is protected !!