මැදපෙරදිග කලාපය අද වන විට තීරණාත්මක මෙන්ම අතිශය භයානක සන්ධිස්ථානයකට එළඹ තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති පසුබිමක වුවද, ඊශ්‍රායලය විසින් ඉරානයේ හදවත බඳු තෙහෙරානය වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ කලාපීය යුද්ධය නව මානයකට ගමන් කරමින් පවතී.
ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා නිවේදනය කළේ ඉරාන රජයේ ඉල්ලීම පරිදි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාර අප්‍රේල් 6 වැනිදා දක්වා දින 10කින් දීර්ඝ කරන බවයි. ටෙහෙරානය සමඟ පවතින සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව ඔහු පැවසුවද, එම සාම සැලසුම පිළි නොගතහොත් ඉරානයට “නරකම සිහිනයක්” වීමට ඇමරිකාව සූදානම් බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.
ඇමරිකාව ඉදිරිපත් කර ඇති කරුණු 15කින් යුත් සාම සැලසුම පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබියදී, ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ටෙහෙරානයේ රජයේ යටිතල පහසුකම් සහ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන 1,000කට අධික ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් මෙහෙයුම් දියත් කළේය. මෙයට සමගාමීව ලෙබනනයේ බේරූට් නගරයේ හිස්බුල්ලා බලකොටු වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වූ අතර, ඉන් නගරයම දුමාරයෙන් වැසී ගිය බව වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව සිය මිලිටරි ශක්තිය තවදුරටත් වර්ධනය කරමින් අමතර භට පිරිස් 10,000ක් කලාපයට යැවීමට සූදානම් වන අතර, එය දැනටමත් එහි සිටින 5,000ක මැරීන් භට පිරිසට අමතරව සිදු වන්නකි.
මෙම යුධමය තත්ත්වය මානුෂීය සහ ආර්ථික වශයෙන් මුළු ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. විශේෂයෙන්ම ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය අසලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ක්‍රියාකාරී මට්ටමේ පවතින මෙම බලාගාරයට හානි සිදුවුවහොත් ඉරානයට පමණක් නොව අවට කලාපයටම බලපාන මහා පරිමාණ විකිරණ අනතුරක් සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය අඩාල වීම නිසා ඉන්ධන මිල පමණක් නොව, ලෝක වෙළඳපොළේ ආහාර, ඖෂධ සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි භාණ්ඩවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් ලබා දී ඇති මෙම දින 10ක සහන කාලය සැබෑ සාමයක් සඳහා වූ අවස්ථාවකට වඩා, ඉදිරි ගොඩබිම් මෙහෙයුමක් සඳහා සූදානම් වීමට ගත් උපායමාර්ගික විරාමයක් විය හැකි බවයි.
ඉරානය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු නෛතික අයිතියක් බවයි. කෙසේවුවද ඇමරිකාව සහ ඊශ්‍රායලය එම තත්ත්වය පිළිගැනීමට සූදානම් නැත.
එළඹෙන අප්‍රේල් 6 වැනිදා යනු මැදපෙරදිග අනාගතය තීරණය කරන තීරණාත්මක දිනයක් වනු ඇති අතර, එතෙක් මුළු ලෝකයම පසුවන්නේ දැඩි අවිශ්වාසයකින් සහ භීතියකිනි.


