28.9 C
Galle

ශිෂ්‍යත්ව ලකුණු අඩු දරුවන් පාසලට ගත් විදුහල්පතිනියට ඇප

Published:

පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම්ලත් දරුවන් සිටියදී, අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අඩු ලකුණු ලබාගත් ළමුන් පිරිසක් පාසලට ඇතුළත් කරගැනීමෙන් ‘දූෂණය’ නම් වරද සිදුකළ බවට චෝදනා ලැබූ කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරුණේ චන්දනී රූපිකා සත්කුමාර නැමැති හිටපු විදුහල්පතිනියයි. ඇයට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාරියට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට පියවර ගත්තේය.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2022 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම්ලත් දරුවන් සිටියදී, 2023 වසරේ හය ශ්‍රේණිය සඳහා අඩු ලකුණු සහිත ළමුන් හත් දෙනකු නීතිවිරෝධී ලෙස බඳවාගෙන ඇති බවයි. මෙම ක්‍රියාව තුළින් ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අසාධාරණයක් කරමින් තවත් පිරිසකට අයුතු වාසි ලබා දීම සම්බන්ධයෙන් දූෂණය නමැති වරද යටතේ විමර්ශන පවත්වන බව කොමිසම සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම ළමුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි සිදු කර ඇති බවයි. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම පෙන්වා දුන්නේ, අදාළ පාසලේ හය ශ්‍රේණිය සඳහා පුරප්පාඩු 19ක් පවතින බවට ව්‍යාජ ලෙස ලිපියක් සකස් කරමින්, මෙම අඩු ලකුණු සහිත ළමුන් ඇතුළත් කර ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!