28.9 C
Galle

මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර

Published:

එක්සත් ජනපද, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. හවුති හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් යාහ්යා සාරි සෙනසුරාදා ප්‍රකාශ කළේ දකුණු ඊශ්‍රායලයේ පවතින “සංවේදී හමුදා මධ්‍යස්ථාන” ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම ප්‍රහාරයත් සමඟ හවුති සංවිධානය මැදපෙරදිග යුද්ධයේ නව පෙරමුණක් විවෘත කර ඇති අතර, ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන “බාබ් අල්-මැන්ඩෙබ්” (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ විකල්පය තමන් සතු බව ඔවුන් අවධාරණය කරයි. ඊශ්‍රායලයේ ආනයනවලින් 30%ක් පමණ මෙම මුහුදු මාර්ගය හරහා සිදුවන බැවින්, මෙවැනි අවහිරතාවයක් එරට ආර්ථිකයට මෙන්ම ගෝලීය සැපයුම් දාමයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

ඊශ්‍රායල හමුදාව පවසන පරිදි ඔවුන් විසින් එල්ල වූ එක් මිසයිලයක් සාර්ථකව විනාශ කර ඇත. කෙසේ වෙතත්, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල ද අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී තිබේ. මීට අමතරව දකුණු ලෙබනනයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළුන් නව දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

භූ දේශපාලනික විශ්ලේෂකයන් පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය මෙන්ම බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ද අවහිර වුවහොත් ලෝක ආර්ථිකය මහා පරිමාණ කඩාවැටීමකට ලක්විය හැකි බවයි. විශේෂයෙන්ම ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා යළිත් රතු මුහුදේ මෙහෙයුම් සඳහා යෙදවීමට සිදුවීම හරහා යුද්ධය තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

හවුති සංවිධානයේ මෙම මැදිහත්වීම ඊශ්‍රායල රජය සිය යුධ මෙහෙයුම් මෙහෙයවන ආකාරය පිළිබඳව එරට තුළම ප්‍රශ්න නැගීමට ද හේතු වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!