දකුණු ලෙබනනයේදී මාධ්‍යවේදීන් බවට පැහැදිලිව සලකුණු කර තිබූ රථයකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් අල් මයාදීන් සහ අල්-මනාර් මාධ්‍ය ජාලයන්ට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් තිබේ. මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුධමය තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින පසුබිමකය.
ජෙසීන් මාර්ගයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් අල් මයාදීන් මාධ්‍යවේදිනී ෆාතිමා ෆ්ටූනි, ඇයගේ සහෝදරයා මෙන්ම අල් මයාදීන් සගයා වූ මොහොමඩ් ෆ්ටූනි සහ අල්-මනාර් මාධ්‍යවේදී අලි ෂුඅයිබ් යන අය ජීවිතක්ෂයට පත්ව ඇත. අල් මයාදීන් නාලිකාව පවසන්නේ මාධ්‍ය රථයට නිශ්චිත ඉලක්ක ගත මිසයිල හතරක් එල්ල වී ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, ගිලන්රථ ඉලක්ක කරගත් ප්‍රහාරයකින් එක් ගිලන්රථ සේවකයෙකු ද මියගොස් තිබේ.
තවද, එදිනම එල්ල වූ වෙනත් ප්‍රහාරවලින් ගිලන්රථ හා සෞඛ්‍ය සේවකයින් නව දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ සෞඛ්‍ය අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙනත් ප්‍රහාර පහකින් සෞඛ්‍ය සේවකයින් නව දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ජූතාර් අල්-ෂර්කියා, ක්ෆාර් ටිබ්නිට්, ගන්දූරියා සහ ක්ෆාර් දජ්ජාල් යන ප්‍රදේශවලදී මෙම සෞඛ්‍ය සේවකයින් ඝාතනයට ලක්ව ඇත.
මෙම නිරන්තර ප්‍රහාර හේතුවෙන් මේ වන විට රෝහල් හතරක් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 51ක් මුළුමනින්ම වසා දමා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කළ අතර, ඔවුන් චෝදනා කළේ මියගිය අලි ෂුඅයිබ් හිස්බුල්ලා බුද්ධි අංශයට සම්බන්ධව සිටිමින් ඊශ්‍රායල හමුදා ස්ථානගතවීම් නිරීක්ෂණය කළ අයෙකු බවයි. එහෙත් ඊශ්‍රායලය ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.
අදාළ මාධ්‍ය ආයතන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අතර, අල්-මනාර් නාලිකාව පැවසුවේ ඔහු දශක ගණනාවක් පුරා ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර ආවරණය කළ ඔවුන්ගේ ප්‍රමුඛතම යුධ වාර්තාකරුවෙකු බවයි.
රාජකාරියේ නිරත සිවිල් වැසියන් ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතියේ මූලිකම නීතිරීති උල්ලංඝනය කිරීමක් සහ අමු අමුවේ කරන ලද අපරාධයක් ලෙස ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් හෙළා දුටු අතර, අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් ද මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් බව අවධාරණය කළේය.
මියගිය ෆාතිමා ෆ්ටූනි යනු මීට සති කිහිපයකට පෙර සිය මාමා සහ ඔහුගේ පවුලේ අය ඊශ්‍රායල ප්‍රහාරයකින් මියයාම පිළිබඳව සජීවීව රූපවාහිනිය ඔස්සේ වාර්තා කළ ධෛර්ය සම්පන්න මාධ්‍යවේදිනියකි.
ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා අල් මයාදීන් නාලිකාවට සිය මාධ්‍යවේදීන් හය දෙනෙකු අහිමි වී තිබේ. මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවට අනුව 2025 වසරේදී ගෝලීය වශයෙන් මාධ්‍යවේදීන් 129ක් ඝාතනයට ලක්ව ඇති අතර එය ඔවුන්ගේ දත්ත ඉතිහාසයේ ඉහළම අගයයි. ඉන් තුනෙන් දෙකකටම වගකිව යුත්තේ ඊශ්‍රායලයයි. එම වාර්තාවලට අනුව ලෝක ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කළ රට බවට ඊශ්‍රායලය පත්ව ඇති අතර, ගාසා තීරයේදී පමණක් ඔවුන් මාධ්‍යවේදීන් 270කට අධික පිරිසක් මරා දමා ඇත.

මාර්තු 2 වැනිදා සිට මේ දක්වා එල්ල වූ ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 1,142ක් මියගොස් 3,300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කරයි. ලිටානි ගඟෙන් දකුණට වන්නට ඇති සමස්ත කලාපයම මේ වන විට දැඩි බෝම්බ ප්‍රහාරවලට ලක්වන අධි අවදානම් කලාපයක් බවට පත්ව තිබේ.


