28.8 C
Galle

දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි

Published:

ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද “වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය” ලබන 31 වැනිදා සිට නිල වශයෙන් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස මෙම නව තාක්ෂණික පද්ධතිය හඳුන්වා දෙනු ලබන බව එම කොමිසම සඳහන් කරයි. මෙහි සමාරම්භක උත්සවය ලබන 31 වන දින පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සිදු වූයේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මගිනි. එහෙත් මෙම නව පද්ධතිය හුදෙක් පෝරමයක් මාර්ගගතව (Online) සම්පූර්ණ කිරීමක් පමණක් නොව, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමක් බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේදී සිදුවිය හැකි සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම් මෙන්ම අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සත්‍යාපන පහසුකම් (Verification facilities) ද මෙම පද්ධතියට අන්තර්ගත කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

මෙම නව තාක්ෂණික මෙවලම හරහා දූෂණ මර්දන කර්තව්‍යය සඳහා ප්‍රබල නීතිමය රාමුවක් සැකසෙන අතරම, එම ක්‍රියාවලියට ස්වාධීනත්වයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් එක්වනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් අපේක්ෂා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!